Home » ආසාදිත අපද්‍රව්‍ය කළමනාකරණ ජයිකා ව්‍යාපෘතියෙන් රෝහල් 15කට ප්‍රතිලාභ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල

ආසාදිත අපද්‍රව්‍ය කළමනාකරණ ජයිකා ව්‍යාපෘතියෙන් රෝහල් 15කට ප්‍රතිලාභ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල

by sachintha
February 28, 2024 1:29 am 0 comment

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (ජයිකා ) සමඟ එක්ව සිදු කරන ආසාදිත අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියෙන් රෝහල් 15කට ප්‍රතිලාභ හිමි වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවැසීය.

පුනර්ජනනීය බලශක්තිය නිපදවීම සඳහා රෝහල්වල පහසුකම් නැංවීමේ ව්‍යාපෘතියෙන් මෙරට ප්‍රධාන රෝහල් 3ක් සංවර්ධනය කිරීමට පියවර ගැනීම සහ ප්‍රජාව තුළ වැඩිහිටියන් කේන්ද්‍ර කර ගත් සෞඛ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

ජයිකා – ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA – Japan International Cooperation Agency) ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමඩා (Mr. Tetsuya Yamada) මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යංශයේදී පෙරේදා (26) පැවැත්විණි. එහිදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි.

මෙහිදී ටෙට්සුයා යමඩා මහතා විසින් මෙරට සෞඛ්‍ය පද්ධතියේ සේවා වැඩිදියුණු කිරීම ජයිකා ව්‍යාපෘතියෙන් ක්‍රියාත්මක වීම පිළිබඳවත්, දැනට ක්‍රියාත්මක වන සංවර්ධන, ආධාර වැඩසටහන් පිළිබඳවත් සෞඛ්‍ය ලේකම්වරයා දැනුවත් කරන ලදී.

වසර 70ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් සපුරන ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ මිතුදම පිළිබඳව ද, මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය සඳහා ජයිකා ව්‍යාපෘතියෙන් සිදු කළ සේවාවන් ද සිහිපත් කළ සෞඛ්‍ය ලේකම්වරයා මෙරට ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීයික සෞඛ්‍ය සේවා විධිමත් ලෙස පවත්වා‌ගෙන යෑමට ජපාන රජය සහ ජයිකා ව්‍යාපෘතිය දෙන සහයෝගයට ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් ස්තූතිය පළ කළේය.

ඉදිරියටත් එම සහාය අපේක්ෂා කරන බවත්, යෙන් බිලියන 5ක මූල්‍ය පරිත්‍යාගයකින් මෙරට සෞඛ්‍ය සේවාවට සුවිශේෂී ඉන්ධන පරිත්‍යාගයක් සිදු කිරීම පිළිබඳවත් ජපන් රජයට මෙන්ම ජනතාවට ද සෞඛ්‍ය ලේකම්වරයා විශේෂ ස්තූතියක් පළ කර සිටියේය.

මේ අවස්ථාවට ජයිකා ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ නියෝජිත යුරි ඊඩේ (Ms. Yuri IDE) සහ සහකාර නිලධාරිනී එරංගා රාජපක්ෂ මහත්මීහු සහභාගී වූහ.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT