අධිකරණ අැමැතිවරයා අතින් ගාල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසල් ගුරුවරියකට මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පදවිය පිරිනැමූ අයුරු
මෙරට පාසල් 170ක් ගිනි තැබූ අය අධ්‍යාපනය විනාශ වුණේ කෙසේදැයි අද විමසන බවත්, එදා අධිකරණ 27ක් ගිනි තැබූ අයම මේ රටේ යුක්තිය කොහේදැයි විමසන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ වසර 25කට අධික කාලයක් අඛණ්ඩව පෙර පාසල් ගුරුවරියන් ලෙස කටයුතු කළ ගාල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසල් ගුරුවරියන්ට මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පදවි පිරිනැමීම වෙනුවෙන් පෙරේදා (26) ගාල්ලේ පැවති උත්සවයකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“දේශපාලන ස්ථාවරත්වය බිඳ වැටුණොත් අප රටේ ආර්ථික ස්ථාවරත්වය විනාශ වන බව මේ පිරිස මතක තබා ගත යුතුය. දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනය සාර්ථකව ඉටු කිරීමට පෙර පාසල් ගුරුවරියන් කරන සේවය අගය කරනවා. එදා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපන ලැබූ ආචාර්ය සී. ඩබලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොසිටින්න නිදහස් අධ්‍යපනයේ දරුවන් වන මමත්, ඔබත් අද මෙතැන නොසිටින්න තිබුණා. එතුමා එදා වලව් පැලැන්තියට එරෙහිව අධ්‍යාපන විප්ලවයක් කළා. ඇතැම් අය හිතන්නේ විප්ලවයක් වෙන්න ලේ සෙලවිය යුතු බවයි. එහෙම දෙයක් නෑ. අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතාගේ කාලයෙන් පසුව රිචඩ් පතිරණ මහතාගේ කාලයේ අධ්‍යාපන විප්ලවයක් සිදු වුණා. මේ රටේ 76 වසරක ශාපය ගැන කතා කරන අය මේ රටේ දේශපාලන නායකයන් කළ සේවය පිළිබඳව කතා නොකිරීම කනගාටුවට කරුණක්.
මේ රටේ පාසල් 170ක් ගිනි තිබ්බ අය අහනවා අධ්‍යාපනය විනාශ වුණේ කොහොමද කියලා. එදා අධිකරණ 27ක් ගිනි තියපු අයම අහනවා කෝ මේ රටේ යුක්තිය කියලා. පසුගිය වසර දෙකේ මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. ඒත් එක්කම අපි ලොකු අභියෝගයක් භාර ගත්තා. මේ රට භාර ගන්න කිව්ව වෙලාවේ පැනලා දිව්වා. නමුත් අපි වර්තමාන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් මේ රට භාර ගත්තා. රිචඩ් පතිරණ ඇමැතිවරයා දේශපාලනයට එන්න කලින් මහන්සියෙන් හම්බ කර මුදල් වියදම් කර හදා ගත් ගෙදරත් ගිනි තිබ්බ මිනිස්සු ඉන්න රටක් මේක. දේශපාලන ස්ථාවරත්වයක් නොමැතිව ආර්ථිකය ස්ථාවර කරන්න බෑ. දේශපාලන ස්ථාවරත්වය බිඳ වැටුණොත් ආර්ථික ස්ථාවරත්වය විනාශ වෙනවා. පසුගිය කාලයේ මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඝාතනය කළා. ඒ සියල්ල කළේ බලයට ඇති කෑදරකම නිසයි. ඒ අය එහෙම කරන්නේ ඔවුන් දන්නවා කිසිම දිනක ජන සම්මතයෙන් බලයට එන්න බෑ කියලා. මම මේ අවස්ථාවේ දේශපාලනය කතා කරන්නේ නෑ. නමුත් මේක පරිවර්තනීය යුගයක් බවත්, මේ වසර මැතිවරණ වසරක් බවත් සඳහන් කළ යුතුයි. මේ වන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට වාර්තාවක් සකස් කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ මේ වන විටත් සිදු වෙනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් මුල් ළමා විය සංවර්ධනය වෙනුවෙන් වෙනම අංශයක් ආරම්භ වෙනවා. පෙර පාසල් සේවය මේ රටේ ගුරු සේවයේ වෙන කොටසක් බවට පත් කරනවා.”
කළුවැල්ල බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ගාල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති කණුමුල්දෙණියේ චන්දවිමල හිමියෝ ආගමික වතාවත් සිදු කළහ.
සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ, කෘෂිකර්ම රාජ්‍ය ඇමැති, නීතිඥ මොහාන් සිල්වා, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද, පෙර පාසල් ගුරුවරියෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.