Thursday, May 15, 2025
Home » මගේ රත්තරං අමිල පුතාට මෙහෙම දෙයක් වේවි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ- මව කරුණාවතී හැඬූ කඳුළින් කියයි

මගේ රත්තරං අමිල පුතාට මෙහෙම දෙයක් වේවි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ- මව කරුණාවතී හැඬූ කඳුළින් කියයි

by sachintha
February 28, 2024 1:09 am 0 comment

 

බණ්ඩාරගම බිමල් ජයසිංහ – හිනිදුම රවීන්ද්‍ර ලියනගේ – ජයකාන්ත ලියනගේ – බළපිටිය විශේෂ – දකුණු පළාත් සංචාරක එස්. දීයගහගේ

අද උදේ මට වැඳලා ගිය මගේ රත්තරං පුතාට මෙහෙම දෙයක් වේවි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ. පුතා හැමදාම වැඳලා යන්නේ. එහෙම ගිය පුතා දෙයියෝ අරං ගියා. පුතාගේ එකම පුතා තනි වුණා යැයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර 85.5 කිලෝමීටර කණුව අසල දී ඊයේ (27) දහවල් සිදු වූ අනතුරින් මියගිය ඉමදූව හොරදුගොඩ ටී.ජී. අමිලගේ (37) මව එම්.එම්. කරුණාවතී මහත්මිය පැවැසුවාය.

මෙම අනතුරින් අධිවේගී මාර්ගයේ නඩත්තු කටයුතුවල කෙන්ත්‍රාත් පදනම මත නිරතව සිටි කම්කරුවන් දෙදෙනකු මියගිය අතර, අනෙක් තැනැත්තා දික්කුඹුරේ පදිංචි ඩබ්ලිව්.එච්. පද්මසිරි (64) නම් දෙදරු පියෙකි.

මාතර මහ රෝහලට ඖෂධ ප්‍රවාහනය කරමින් තිබූ අධිශීතකරණ සවිකරන ලද කුඩා ලොරියක් අධිවේගී මාර්ගයේ පෝද්දල ප්‍රදේශයේ කිලෝමීටර් 85 දශම 4 හා 85 දශම 5 අතර, කොටසේ නඩත්තු කටයුතු කරමින් සිටි මෙම සේවකයන් දෙදෙනා හප්පා පලා ගොස් තිබුණි.

අනතුරින් මියගිය සේවකයන් දෙදෙනා අධිවේගී මාර්ගයේ වම්පස වැටේ විදුලි ලාම්පු යොදා පවිත්‍ර කරමින් සිට ඇත. කොළඹ දිසාවේ සිට අධික වේගයෙන් පැමිණ තිබූ ලොරිය ආරක්ෂිත මාර්ග බාධක අතරින් සේවකයන් දෙදෙනා වෙත කඩා වැදී ඇති බව පොලිසිය කියයි.

ලොරිය ඔවුන් දෙදෙනාගේ ශරීරයේ ගැටීමත් සමඟම දෙදෙනාම බරපතළ තුවාල ලබා දෙපසට වීසි වී ඇති අතර වහා ක්‍රියාත්මක වූ සෙසු සේවකයන් ඔවුන් දෙදෙනා කරාපිටිය රෝහල වෙත ඇතුළත් කැර ඇත. ඒ වන විටත් ඔවුන් දෙදෙනා සිට ඇත්තේ මිය ගොසිනි.

ලොරි රියැදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලිසිය කියයි. ලොරියේ රියැදුරු අත්අඩංගුවට ගෙන පෝද්දල පොලිසිය වෙත භාරදී ඇත.

ගෙවුණු මාස දෙකට අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් 9 දෙනෙකු මියගොස් ඇතැයි අධිවේගී කොට්ඨාස රථ වාහන පොලිසිය කියයි. එකී මරණ නමය අනතුරු 7කින් සිදු වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඉකුත් වසර තුළම එම මාර්ග පද්ධතිය තුළ සිදුවූ අනතුරුවලින් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව සිව් දෙනෙක් බවත් මෙම වසරේ මාස දෙක තුළ සිදු වූ අනතුරු සමඟ ගත් කළ ප්‍රතිශතයක් ලෙස සියයට සියයකටත් වඩා ඉක්මවීමක් බව පොලිසිය සඳහන් කරයි.

මෙම දත්ත සම්බන්ධයෙන් හෙළිවූයේ ඊයේ ( 27 ) කුරුඳුගහහැතැක්ම පෝද්දල පොලිස් බලප්‍රදේශයේ අධිවේගී මාර්ගයේ නඩත්තු කටයුත්තක නිරත වෙමින් සිටි කොන්ත්‍රාත් පදනම මත සේවය කරන පුද්ගලයන් දෙදෙනකු අනතුරට ලක්ව මිය යෑමත් සමඟය. ඒ ආකාරයෙන් මීට මාසයකට පමණ ඉහත දී එනම් ජනවාරි 25 වැනි දින රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ රියැදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේදී අනතුරකින් මිය ගියේය.

එකී අනතුරු දෙකින් එම වාහනවල රියැදුරන්ට කිසිදු තුවාලයක් සිදු නොවීම විශේෂත්වයකි.

මෙම අනතුරු දෙකම අධික වේගයෙන් වාහන ධාවනය කිරීම හේතුවෙන් සිදු වූ මාරක අනතුරු බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි

ඊයේ සිදු වුණු අනතුර සම්බන්ධයෙන් දක්ෂිණ අධිවේගී මාර්ග පින්නදූව රථවාහන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් හෙට්ටගේ මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන්වරුන් වන (58946) කුමාර, (13945) ජයසිංහ, (38790) රාජපක්ෂ, පොලිස් කොස්තාපල් (72253) සම්පත් මහත්වරු පරීක්ෂණ පවත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT