රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම හේතුවෙන් රටේ සංවර්ධනය අඩාළ වන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා (22) පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීය.
කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව එහි සම සභාපතිවරුන් වන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්රිය හේරත් සහ වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ යෝජනා සැකසීමේදී ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතාව පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හරහා මේ ආයතන අතර ඒකාබද්ධ සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍යයි.
ඇතැම් පළාත්වල මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන සංවර්ධන ව්‍යාපෘති සැකසීමේදී එකඟතාවකින් තොරව ක්‍රියා කිරීම නිසා මහජන නියෝජිතයන් සහ අදාළ ආයතන අතර ගැටුම් ඇතිව තිබෙනවා. මේ කඹ ඇදීම හේතුවෙන් ජනතාවට ලැබිය යුතු ප්රතිලාභ නොලැබෙන තත්ත්වයක් ඇතිව තිබෙනවා.
මධ්‍යම ආණ්ඩුව කරන දේ පළාත් සභාව දන්නේ නෑ. පළාත් සභාව කරන දේ පළාත් පාලන ආයතන දන්නේ නෑ. ඒ නිසා මේ ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් පවත්වාගන්න ඕනෙ. එහෙම නැති වුණොත් රටේම සංවර්ධනය අඩාළ වෙනවා. සියලු ව්‍යාපෘති හඳුනා ගන්න ඕනෙ ග්‍රාමීය කමිටුව හරහා. සියලුම අධීක්ෂණ කටයුතු කරන්න ඕනෙ එම කමිටුව හරහා. ග්‍රාමීය මට්ටමින් ව්‍යාපෘති හඳුනා ගැනීමේදී ගැටලුවක් ආවොත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කරන්න. එතැනින් විසඳුමක් දෙන්න බැරි නම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට එවන්න. එතැනින් විසඳා ගන්න බැරි නම් අගමැතිවරයා ඉන්න ජාතික කමිටුවට එවන්න. ව්‍යාපෘති හඳුනා ගැනීමේදී පළාත්වල මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන වශයෙන් වෙන් වෙන්ව ඒවා හඳුනා ගන්න. පටන් ගන්න දිනය, අවසන් කරන දිනය ඇතුළත්ව දින වකවානු සහිතව සැලසුම් සකස් කරන්න. එතකොට අපි හැමෝටම වැඩ කරන්න පහසුයි.
කඳුකර දශකය වැඩසටහන මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, මාතර, ගාල්ල, කළුතර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක දහය තුළ ක්‍රියාත්මක කෙරෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, මාවතගම සහ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනේ ග්‍රාම නිලධාරී වසම් 229ක මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. මේ වැඩසටහන හරහා ජීවනෝපාය සංවර්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍ය, විදුලිබල සහ නිවාස පහසුකම් සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර දහයක් සංවර්ධනය කෙරෙනවා.”
මේ අවස්ථාවට රාජ්‍ය ඇමැතිවරුන් වන වන ඩී. බී. හේරත්, ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සුමිත් උඩුකුඹුර, මංජුලා දිසානායක, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. ආර්. රත්නායක, වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහභාගි වූහ.
උපාලි කරුණාරත්න