පවතින ආර්ථික පසුබෑම නිසා ණය නොගෙවීම හේතුවෙන් බැංකු විසින් ණයකරුවන්ගේ දේපළ අත්පත් කර ගැනීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රමවේදය දෙසැම්බර් 15 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.
ඒ සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන පැනවීම පිණිස 1990 අංක 4 දරන බැංකු මඟින් ප්රදානය කරන ලද ණය අය කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 4 වගන්තිය සංශෝධනය කිරීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, විෂය භාර ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ආර්ථික අර්බුද හේතුවෙන් අය කරගත නොහැකි ණය, ගෙවාගත නොහැකි ව්‍යාපාරවල දේපොළ පරාටේ නීතිය යටතේ නියමයන්ට අනුව බැංකුවට දේපොළ පවරා ගෙන ඒවා වෙන්දේසි කරන්න පටන් ගත් බව ඒ මහතා කීවේය.
පසුගිය වසර 3ක පමණ කාලයක සිට පවතින ආර්ථික පසුබෑම හේතුවෙන් දේශීය මහා පරිමාණ, මධ්‍ය පරිමාණ හා සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ට තම ව්‍යාපාර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව තිබෙනවා.
මේ වන විට ආර්ථිකය යළිත් යම් ප්‍රමාණයකින් ශක්තිමත් වෙමින් පවතින අතර ඊට අවශ්‍ය මූලික පියවරයන් මහා භාණ්ඩාගාරය විසින් ගනු ලබමින් පවතිනවා. එසේ වුවද, පසුගිය කාලය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විසින් තම ව්‍යාපාර කටයුතු සඳහා බැංකු මඟින් ලබා ගන්නා ලද ණය මුදල් තවදුරටත් නිසි පරිදි ගෙවා නිම කිරීම සම්බන්ධයෙන් ගැටලු පවතින බව විවිධ පාර්ශ්වයන් විසින් පෙන්වා දී තිබෙනවා. එම තත්ත්වය යටතේ ණය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ව්‍යාපාරිකයන්ගෙන් සැලකිය යුතු පිරිසකගේ දේපළ පවත්නා නීතිමය විධි විධාන අනුගමනය කරමින් බැංකු විසින් පවරාගෙන වෙන්දේසි කිරීමට පියවර ගනිමින් සිටියා. ඒ හේතුවෙන් ව්‍යාපාරික ක්ෂේත්රයේ පැන නැඟිය හැකි අර්බුදකාරී තත්ත්වය සමනය කරමින් බැංකු පද්ධතියට අගතියක් නොවන පරිදි අදාළ ණය ගෙවීමට යම්කිසි සහන කාලසීමාවක් ලබා දීම යෝග්‍ය බවට පෙනී ගොස් තිබෙනවා.
ආර්ථික අර්බුද හේතුවෙන් අය කරගත නොහැකි ණය ගෙවාගත නොහැකි ව්‍යාපාරවල දේපොළ පරාටේ නීතිය යටතේ නියමයන්ට අනුව බැංකුවට දේපොළ පවරාගෙන ඒවා වෙන්දේසි කරන්න පටන් ගත්තා. මේ නිසා සත්‍ය වශයෙන්ම තමන්ට පාලනය කළ නොහැකි හේතූන් නිසා ණය ගෙවීමට නොහැකි වුණා නම් වංචනික ලෙස ණය පැහැර හැරීමක් නොකළ සාධාරණ හේතු මත ණය පැහැර නොකළ ව්‍යවසායකයන්ට, ආයතනවලට, පුද්ගලයන්ට මේ වසරේ දෙසැම්බර් 15 වන තෙක් එසේ දේපොළ බැංකුවට පවරාගෙන වෙන්දේසි කිරීම අත්හිටුවන්න බැංකු පණත සංශෝධනය කරන්න ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිවුණා. සියලු මැති ඇමැතිවරුන්ගේ පූර්ණ සහයෝගය ලැබුණා. මේ වගේ අවස්ථාවක විශේෂයෙන්ම ස්වදේශික කර්මාන්තකරුවන් සුළු, මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා වෙනත් ආයතන සංවිධාන හා පුද්ගලයෝ තමන්ට පාලනය කළ නොහැකි හේතූන් නිසා ණය ආපසු ගෙවා ගත නොහැකි වුණා නම් ඒ ණය සහනයෙන් දේපොළ අත්පත් කරගන්නේ නැතුව දෙසැම්බර් මාසේ 15 වන තෙක් පවතිනවා. මේ කාලය තුළ නැවත ණය ප්‍රතිව්‍යුහගතකරණය, ණය ප්රතිසැකසුම්කරණය කරගෙන ඉදිරියේ දී ගෙවන ක්‍රමයක් සකස් කරගන්න හුස්ම ගැනීමේ ඉඩ ප්‍රස්ථාවක් ඒ ණය ගෙවා ගත නොහැකි පාර්ශ්වයන්ට ලැබෙනවා.
නුවන් කොඩිකාර