Sunday, May 11, 2025
Home » අත්අඩංගුවට ගත් රියැදුරු බලපත දෙන්න අල්ලස් ගත් කොස්තාපල් දෙදෙනා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් රියැදුරු බලපත දෙන්න අල්ලස් ගත් කොස්තාපල් දෙදෙනා රිමාන්ඩ්

by sachintha
February 28, 2024 12:10 am 0 comment

රථවාහන නඩුවකට අදාළව අත්අඩංගුවට ගත් රියැදුරු බලපත්‍රය නැවත ලබාදීමට ව්‍යාපාරිකයකුගෙන් අල්ලස් වශයෙන් රුපියල් 10,000ක මුදලක් ඉල්ලා ලබාගත්තැයි අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ඉත්තෑපාන පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (27) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ කටුවන්දෙණිය වත්ත, යාය බැද්ද පාර, අකුරැස්ස පදිංචි පොලිස් කොස්තාපල් (36168) සුපුන් මධුසංඛ සහ මධු සෙවන, නුවර පාර, බෝයගොඩ පදිංචි පොලිස් කොස්තාපල් (02636) ඉසුරු තීක්ෂණ මඩුගල්ල යන ඉත්තෑපාන පොලිසියේ රථවාහන අංශයේ සේවය නියුතු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ යගිරල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු විසිනි. තමන් ආරක්ෂක හිස්වැසුමක් පැලඳ නැති බවට චෝදනා කරමින් මෙම සැකකාර පොලිස් නිලධාරින් දෙදෙනා තමන් සන්තකයේ තිබූ රියැදුරු බලපත්‍රය ඔවුන් භාරයට ගත් බවත් පසුව නැවත එය ලබාදීමට සහ එම බලපත්‍රය නීත්‍යනුකූල රියැදුරු බලපත්‍රයක් ද යන්න පරීක්ෂාකර බලා ඒ සඳහා නීත්‍යනුකූල කටයුතු නොකර සිටීම සඳහා රුපියල් දස දහසක මුදලක් ඉල්ලා සිටි බවත් පැමිණිල්ල සඳහන් කර තිබූ බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකරු කළ පැමිණිල්ලට අනුව උපායදූතයකු යොදවා වැටලීමක් කර අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශන අවසන්ව නොමැති අතර, තවත් ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගත යුතුව ඇති බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර එදින තෙක් නඩුව කල් තැබීය.

නිමන්ති රණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT