Sunday, May 11, 2025
Home » නඩු භාණ්ඩයක් කර තිබූ දෙකෝටියක රථය විකුණූ සැකකරුට 25000ක් ඇප

නඩු භාණ්ඩයක් කර තිබූ දෙකෝටියක රථය විකුණූ සැකකරුට 25000ක් ඇප

by sachintha
February 28, 2024 12:14 am 0 comment

 

වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩයක් ලෙසින් බැඳුම්කරයකට යටත් කොට තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථයක් වෙනත් පුද්ගලයෙකුට විකුණුවැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවකු රුපියල් 25,000ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (27) නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ මන්නාරම, පේසාලේ පදිංචි චන්ද්‍රදාස රොහාන් නමැති 33 හැවිරිදි තරුණයෙකි.

මෙම සිද්ධියට අදාළ සැකකරු හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 260ක් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඉකුත් 2022 වසරේ ජුනි මස 14 වැනිදා අත්අඩංගුවට ගනු ලැබ තිබූ බවත් ඒ සම්බන්ධයෙන් වන නඩුව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින බවත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව, අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා උපයෝගී කරගත් සීඒබී 2564 දරන මෙම වාහනය සඳහා අධිකරණය බැඳුම්කරයකට යටත් කර ඇති බවත් එසේ තිබියදී එය වෙනත් පුද්ගලයකුට විකුණා ඇති බවත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු සඳහන් කළේය.

මෙම සැකකරු සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව ආරම්භ කළ විමර්ශනයට අනුව මෙම සීඒබී 2564 දරන වාහනය උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි ආකාරයෙන් සන්තකයේ තබාගෙන සිටි බව ද සඳහන් කළ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ, එම වාහනය මිල දී ගැනීමට පෙර ඔහු රුපියල් ලක්ෂ 69කට වෙනත් වාහනයක් මිලට ගෙන තිබූ බවය.

එම රුපියල් ලක්ෂ 69ක මුදල ඔහුගේ ඥාති සහෝදරයකු ප්‍රංශයේ සිට එවූ මුදලක් වන අතර එයින් මිල දී ගත් වාහනය විකුණා රුපියල් ලක්ෂ 160කට අධික වටිනාකමකින් යුත් අදාළ සුඛෝපභෝගී මෝටර් රථය මිලට ගෙන ඇතැයි සැකකරු ප්‍රකාශ කළ ද මෙම මුදල් විදේශයක සිට ලැබුණ බවට කිසිදු බැංකු වාර්තාවක් හෝ වෙනත් කිසිදු මාර්ගයක් ඉදිරිපත් කිරීමට සැකකරුට හැකියාවක් ලැබී නැතැයි ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරු එම මෝටර් රථය අධිකරණ නියෝගය නොතකා ඔහුගේ මස්සිනා වන රොබට්සන් යන අයට විකුණා ඇතැයි ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට ඇප නියම කරමින් නඩුව ලබන ජුනි මස 22 වැනිදා තෙක් කල් තැබීය.

නිමන්ති රණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT