Sunday, May 11, 2025
Home » ළමයින්ට දෙන ප්‍රෙඩ්නිසිලෝන් හොර ලියවිලිවලින් ගෙන්වා ඇති බවට සීඅයිඩීයට පැමිණිලි

ළමයින්ට දෙන ප්‍රෙඩ්නිසිලෝන් හොර ලියවිලිවලින් ගෙන්වා ඇති බවට සීඅයිඩීයට පැමිණිලි

by sachintha
February 28, 2024 12:15 am 0 comment

දරුවන් සඳහා ලබාදෙන ප්‍රෙඩ්නිසිලෝන් නමැති ඖෂධය ව්‍යාජ ලියවිලි සකස් කර ගෙන්වා ඇතැයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙරේදා (26) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම ව්‍යාජ ලේඛන සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබියදීත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඊට එරෙහිව පියවර නොගැනීම නිසා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පියවර ගත් බව එහි සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.

මෙම ප්‍රෙඩ්නිසිලෝන් ඖෂධය ගෙන්වීම සඳහා 2023 ජනවාරි මාසයේදී ඉදිරිපත් කර තිබූ ව්‍යාජ ලියාපදිංචියෙන් තොර ඖෂධ ගෙන්වීමට ලබාදෙන අවසර පත්‍රයේ (WOR) සහතිකයක් සහ ඊට අදාළ තවත් ව්‍යාජ සහතික දෙකක් පිළිබඳව ඖෂධ අධිකාරියට වාර්තා වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳව විමර්ශන ඉතා සූක්ෂ්ම අයුරින් යට ගැසීම හේතුවෙන් ව්‍යාජ සහතික හරහා සිදු වූ ඖෂධ ජාවාරම ඖෂධ අධිකාරියේ දැනුවත් මෙහෙයුමක් මත සිදුවන්නක් බව පෙනෙන්නට ඇතැයි ද ඔහු පැවසුවේය.

ප්‍රෙඩ්නිසිලෝන් (මුඛ ද්‍රාවණ) ඖෂධය අසාත්මිකතා, ඇදුම, ස්වයං ප්‍රතිශක්තිකරණ ආබාධ සහ ඇතැම් සමේ රෝග වැනි විවිධ තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා දරුවන්ට බොහෝ විට නියම කරන බවත් එය ශරීරයේ දැවිල්ල, ඉදිමීම සහ අසාත්මිකතා අඩු කිරීමට උපකාරී වන කෝටිකොස්ටෙරොයිඩයක් වන බවත් ඒ මහතා පැවසීය.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT