Saturday, May 10, 2025
Home » යාපනේ සරසවි සිසුන්ට පාර්ලිමේන්තුවෙන් ලැබුණු සහතිකය

යාපනේ සරසවි සිසුන්ට පාර්ලිමේන්තුවෙන් ලැබුණු සහතිකය

by yasara
February 28, 2024 11:32 am 0 comment

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියා පටිපාටි පිළිබඳ කෙටි පාඨමාලාව සාර්ථකව නිම කළ විද්‍යාර්ථීන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උළෙල පසුගියදා (15) උත්කර්ෂවත් අයුරින්  පැවැත්විණි.

ඒ සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මියයි.

පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ විශ්වවිද්‍යාලය විද්‍යාර්ථින් වෙත පුළුල් අවබෝධයක් ලබා දීම මූලික අරමුණ කරගනිමින් ශ්‍රි ලංකා පාර්ලමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය විසින් මෙම පාඨමාලාව සංවිධානය  කරන ලදී.

යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මාධ්‍ය අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සඳහා ආරම්භ කරන ලද මෙම පාඨමාලාව සඳහා සම්පත් දායකත්වය සපයනු ලබන්නේ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසිනි. එහිදී පාර්ලිමේන්තුව හා එහි ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය,පාර්ලිමේන්තු සම්ප්‍රදායයන්,පාර්ලිමේන්තු කාරක සභා,මහජන සහභාගිත්වය, කාන්තා හා තරුණ නියෝජනය, විවෘත පාර්ලිමේන්තු සංකල්පය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ආදිය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දුන් අතර දින කිහිපයක් පුරා පැවති මෙම පාඨමාලාවේ ඒකක සහ අනු ඒකක කිහිපයක් යටතේ දේශන මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිහිපයක්ද අන්තර්ගත විය.

එහිදි යාපනේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාව අමතමින් පාර්ලිමේන්තු මහලේකම්තුමිය අවධාරණය ‍කළේ, ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමවේදයක තරුණ ප්‍රජාව වෙත සුවිශේෂි වගකීමක් පැව‍රෙන අතර, එහිදි පුළුල් තරුණ සහභාගිත්වයක් සඳහා ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව විවෘත ක්‍රමවේදයක් දැනටමත්  අනුගමනය කරන බවයි. කාරක සභාවල තරුණ සහභාගිත්වය වැඩි කිරිම මගින් තරුණ ප්‍රජාවගේ අදහස් හා අභිලාෂයන් ව්‍යවස්ථාදායක වෙත සෘජුවම ලබා ගැනීමට හැකි විම මෙන්ම විශ්ව විද්‍යාල අතුරින් තෝරාගත් විද්‍යාර්ථින් සඳහා දැනටමත් පාර්ලිමේන්තුව තුළ සීමාවාසික පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක විම පාර්ලිමේන්තුවට තරුණ සහභාගිත්වය පුළුල් කිරීමේ තවත් සුවිශේෂි පියවරක් බවයි.

මෙම අවස්ථාවට යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨ‍ාධිපති මහාචාර්ය එස්. රගුරාම් මහතා ඇතුළු කථිකාචාර්යවරුන්, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ මෙරට අධ්‍යක්ෂක අසෝක ඔබේසේකර මහතා ඇතුළු නිලධාරීන් සහ පාර්ලිමේන්තුවේ නිලධාරින් සහභාගි වූහ.

වැඩසටහන අතරතුර පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්. ශ්‍රීසත්ගුණරාජා මහතා අතර විශේෂ හමුවක් පැවති අතර එහිදී පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව මෙන්ම පාර්ලිමේන්තුව විසින් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් වෙනුවෙන් පවත්වන පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියා පටිපාටි පිළිබඳ කෙටි පාඨමාලාව පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT