බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වූ පවුල් නැවත පදිංචි කිරීම සඳහා හල්දුම්මුල්ල, බෝගහපැලැස්ස ප්‍රදේශයෙන් ඉඩම් ලබා දීමේ කටයුතුවලට එරෙහිව දේශපාලන බලය හා මැර බලය ක්‍රියාත්මක වීමෙන්, ඒ සම්බන්ධව රාජකාරි කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.
දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ පසුගියදා පැවැත්වූ බදුල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදීය.
උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වූ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් සඳහා ලබා දීමට හල්දුම්මුල්ල, බෝගහපැලැස්ස ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් කොටසක් හඳුනාගෙන ඉඩම් කට්ටි මැනුම් කටයුතුද අවසන්ව ඇත. ඒ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයද ලැබී ඇති බවත්, අදාළ පවුල් එම ඉඩම්වල නැවත පදිංචි කරවීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමේදී ඊට විරුද්ධව ඉහළ දේශපාලනඥයන් හා පාතාල මැරයන්ගේ බලය ක්‍රියාත්මක වීමෙන් එම ඉඩම්වල භුක්තිය භාරගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය. එසේම රාජ්‍ය නිලධාරීන් ලෙස මෙම තත්ත්වයට විසඳුම් ලබා දීම කළ නොහැකි අතර, එම වැඩපිළිවෙළට විරෝධය දක්වන පිරිස් විසින් ඇතැම් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවද, මෙම ගැටලු නිරාකරණය කොට අදාළ ඉඩම් නිරවුල් කර දීම උමා ඔය ව්‍යාපෘති බලධාරීන්ගේ වගකීමක් වන බවද ඒ මහතා කීය.
එහිදී සූම් තාක්ෂණය ඔස්සේ එම රැස්වීමට එක් වූ උමා ඔය නේවාසික ව්‍යාපෘති කළමනාකාරවරයා පැවසුවේ උමා ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ වැලිමඩ ප්‍රදේශයේ කණ්ඩායමටද මෙම ගැටලුව බලපා ඇති බවයි. මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් එක්ව සාකච්ඡා කළ බවත්, එහිදී යම් යම් තීන්දුවලට එළැඹුණු අතර ඉදිරියේදී අදාළ කණ්ඩායම් හා නිලධාරීන් එක්ව සාකච්ඡා කොට විසඳුමකට යාම සුදුසු බව යෝජනා කරන බවත් නේවාසික ව්‍යාපෘති කළමනාකාරවරයා පැවසීය.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ, රැස්වීම් සාකච්ඡා පවත්වා තීන්දු තීරණ කොතෙක් ගෙන තිබුණද ඒවා ක්‍රියාත්මක නොවීම ගැටලුවක් බවයි. මේ සම්බන්ධව මෙතෙක් ගනු ලැබූ තීන්දු තීරණ කඩදාසි හා අකුරු පමණක් බවද, තවදුරටත් සාකච්ඡා පවත්වමින් ජනතාව රැවටීම කළ නොහැකි බවද පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා, මිනිසුන්ගේ ඉවසීමේ සීමාවක් ඇති බවත්, යම් අවස්ථාවක ඊට මුහුණ දීමට සියලු බලධාරීන්ට සිදුවන අතර අදාළ සියලු නිලධාරීන් ඒ බව අවබෝධ කරගෙන කටයුතු කළ යුතු බවත් සඳහන් කළේය.
එබැවින් හැකි ඉක්මනින් උමා ඔය ව්‍යාපෘතියේ බලධාරීන් සමඟ සාකච්ඡා කොට මෙම ගැටලුව නිරාකරණය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස, දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා උමා ඔය නේවාසික ව්‍යාපෘති කළමනාකාරවරයාට උපදෙස් දුන්නේය.
හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න