කළුතර, වාද්දුව, දෙල්දූව ගනේවත්ත පුරාණ මහා විහාරයේ විහාරාධිපති, මොරවින්න සුධර්මාරාමය ඇතුළු චතුර් මහා විහාරාධිපති, කළුතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක දෙල්දූවේ සුමන නාහිමියන්ගේ අනුශාසනා පරිදි, ගනේවත්ත පුරාණ විහාරස්ථ, ශ්‍රී සුමන මූලික පිරිවනේ පරිවේණාධිපති කිතලගම නන්දසාර හිමියන්ගේ සංවිධානයෙන් වාර්ෂිකව සිදු කරනු ලබන දෙසීය නමක් මහා සංඝයා වහන්සේ වෙත පිරිනැමෙන දානමය පුණ්‍යකර්මය ඉකුත්දා (25) දහවල් එම විහාරස්ථ ධර්ම ශාලාවේදී සහ ඉහළ මාලයේ දී පැවැත්විණි.
දිවයිනේ විවිධ දුෂ්කර ප්‍රදේශවලට ගොස් කුඩා දරුවන් සොයාගෙන ඔවුන්ගේ මවුපිය භාරකාරාදීන්ගේ පූර්ණ කැමැත්ත සහ අනුමැතිය ලබාගෙන විහාරස්ථානයට කැඳවා ගෙන ගොස් පුණ්‍ය මහෝත්සව පවත්වමින් කුල දරුවන් සීයක් සසුන්ගත කිරීමේ මහා පින්කම ඉටු කරන නන්දසාර හිමිපාණන්ගේ ශාසනික මෙහෙවර මේ අවස්ථාවේ ඇගයීමට ලක්වූහ.
කළුතර විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන් ඇතුළු මහා සඟරුවන 200 නමක් සහභාගි වූ මෙම අති දුර්ලභ ගණයේ මහානීය පින්කම සඳහා බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳව අමාත්‍ය විදුර වික්‍රමනායක, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති සංජීව එදිරිමාන්න, හිටපු කැබිනට් අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, දෙල්දූව නිර්මල රෙස්ටෝරන්ට් අධිපති සරච්චන්ද්‍ර මහතා, කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, විදුහල්පතිවරු, ව්‍යාපාරික මහත්ම මහත්මීහු, ප්‍රදේශවාසීහු ඇතුළු අතිවිශාල පිරිසක් මේ සඳහා මුදලින් සහ ශ්‍රමයෙන් දායකත්වය දැක් වූ අතර, ඔවුන් අතිවිශාල පිරිසක් ඊට සම්බන්ධ වූහ.
ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක වස්කඩුවේ මහින්දවංශ මහ නාහිමියන් මෙහි මූලාසනාරූඪ වූ අතර, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නෙළුවේ සුමන නාහිමියන් ඇතුළු විහාරාධිපති හිමිවරුන් කිහිපදෙනකු මෙම අසිරිමත් සාංඝික මහා දානමය පින්කම පිළිබඳව දීර්ඝ ලෙස ගුණානුස්මරණ දේශන පවත්වන ලදි. වසර ගණනාවක් මුළුල්ලේ අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව මනා සංයමයකින් සහ බුද්ධාලම්භන ප්‍රීතියෙන් සහ ආගමික හැඟීමකින් යුක්තව කිතලගම නන්දසාර හිමියන් ඉටු කරන මෙම කුලදරුවන් පැවිදි කිරීමේ මහා පින්කම සමස්ත බෞද්ධ ජනතාවටත් මහා සංඝයා වහන්සේටත් ජාතියටත් රටටත් මහත් අභිමානයක් සහ ආඩම්බරයක් බව අනුශාසනාව සිදු කරමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නෙළුවේ සුමන හිමියෝ මෙහිදී පැහැදිලි කළහ.
කළුතර මධ්‍යම විශේෂ