Home » වැසිකිළියේ දී බිහි කළ බිලිඳා මරණයට කුසේ දරුවකු සිටි බව දැන සිටියේ නෑ – මව කියයි

වැසිකිළියේ දී බිහි කළ බිලිඳා මරණයට කුසේ දරුවකු සිටි බව දැන සිටියේ නෑ – මව කියයි

by sachintha
February 28, 2024 1:00 am 0 comment

කාන්තාවක වැසිකිළියක බිහි කළ බිලිඳකු මරණයට පත් වීමේ සිදුවීමක් පිළිබඳව වැලිපැන්න පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

වැලිපැන්න පොලිස් වසමේ මුස්ලිම් කොලනිය ප්‍රදේශයේ පදිංචි විවාහක දෙදරු මවක් පසුගිය දිනක අලුයම නිවසේ වැසිකිළියක් තුළ බිලිඳකු බිහි කර ඇති අතර අනතුරුව නිවැසියන් 1990 සුවසැරිය ගිලන් රථයක් මඟින් මව සහ බිලිඳා මතුගම වෑත්තෑව රෝහලට ගෙන ගියත් ඒ වන විට බිලිඳා මිය ගොස් තිබීම නිසා නාගොඩ රෝහලට යවා තිබේ.

මීට මාස තුනකට පමණ පෙර මෙම කාන්තාවගේ සැමියා මිය ගොස් ඇති අතර ඇය ඒ වන විටත් 44 හැවිරිදි දෙදරු මවකි. මෙම කාන්තාවගේ 3 වන දරුවා ලෙස මෙම බිලිඳා බිහි වී ඇතත් තමන්ගේ කුස තුළ දරුවකු පිළිසිඳ ගෙන ඇති බව තමන් නොදන්නා බවත්, සිද්ධිය වූ අවස්ථාවේ තමාට වැසිකිළි යාමේ අවශ්‍යතාවක් ඇති වූ නිසා වැසිකිළියට ගිය විටදී තම කුස තුළින් බිලිඳකු බිහි වී බිමට වැටුණු බවත් ඇය පොලිසියට පැවසුවාය.

තමා ගැබිනියක බව නොදැන සිටි නිසා මෙම දරු ප්‍රසූතිය වෙනුවෙන් පවුල් සෞඛ්‍ය සේවිකාවක් හමුවට හෝ සායනයක් වෙත නොගිය බවද ඇය වැඩිදුරටත් පැවසුවාය. මෙම ළදරු මරණය පිළිබඳව නාගොඩ රෝහලේ, රෝහල් පොලිසිය වැලිපැන්න පොලිසියට දැනුම් දී ඇත. මෙම කාන්තාව තම ගැබිනි බව වසන් කර සිට රහසේ දරුවා බිහි කිරීමට යාමේදී මෙම ළදරු මරණය සිදු වී දැයි පොලිසිය සැක කරන අතර, සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් වූ මතුගම වැඩබලන මහේස්ත්‍රාත් කපිල වෛද්‍යතිලක මහතා මෙම ළදරු මරණය පිළිබඳව අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක් සිදු කරන ලෙස නියෝග කළේය. මෙම මරණය පිළිබඳව අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර වැලිපැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශයේ නිලධාරීහු සහ උප පොලිස් පරීක්ෂක කාන්ති මහත්මිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මතුගම සමූහ – බී. ටී. තඹවිට

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT