ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා හා ජ්‍යෙෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන් අතර හමුවක් ඊයේ (27) සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්විණි. රටේ ක්‍රිකට් අනාගතය යහපත් කිරීම උදෙසා කළ යුතු දේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් සෘජුවම විමසීම හා එයට අදාළ ක්‍රියාමාර්ග ගැනීම උදෙසා මේ හමුව සංවිධානය වී තිබිණි.
ජය පරාජය විඳ දරා ගැනීම ක්‍රීඩාවේ ගුණාංගයක් බැවින් ශ්‍රී ලංකා ජනතාවට අවශ්‍ය වන්නේ සටන්කාමී උසස් ක්‍රීඩා විලාශයක් බවත්, ඒ වෙනුවෙන් කැපවන ලෙසත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ අදහස්වලට සවන්දීමෙන් අනතුරුව ක්‍රීඩා ඇමැතිවරයා ඉල්ලා සිටියේය. මේ හමුවේදී ක්‍රීඩා සමාජවල අනෙකුත් නැඟී එන ක්‍රීඩකයන් වෙනුවෙන් කළ යුතු මෙහෙවර පිළිබඳව ද අවධානය යොමුවී තිබේ.
කොළඹ සංචාරක අමාත්‍යාංශයේ දී පැවති මේ හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් වන කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග හා උප නායක චරිත් අසලංක සහභාගී වූහ. එයට අමතරව ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයන් ලෙස ඇන්ජලෝ මැතිව්ස් හා දිමුත් කරුණාරත්න එක්ව සිටි අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය හා තේරීම් කමිටු ප්‍රධානී උපුල් තරංග යන මහත්වරුද එක්ව සිටියහ.
මේ හමුවට දිනේෂ් චන්දිමාල් සහභාගි වී හදිසි අවශ්‍යතාවක් මත පිටව ගිය අතර, ධනංජය ද සිල්වා අත්‍යාවශ්‍ය පෞද්ගලික හේතුවක් මත සහභාගි නොවීය. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂෙමාල් ප්‍රනාන්දු, නීති උපදේශක චන්දිමාල් මෙන්ඩිස් යන මහත්වරු ද එක්ව සිටියහ.
ප්‍රින්ස් ගුණසේකර