Home » සනත්ගේ වාර්තාව බිඳ දැමූ පැතුම්ට ලොකුම ලොකු සල්ලි මල්ලක්

සනත්ගේ වාර්තාව බිඳ දැමූ පැතුම්ට ලොකුම ලොකු සල්ලි මල්ලක්

by sachintha
February 28, 2024 1:26 am 0 comment

එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකා පිතිකරු ලෙස ඉතිහාසයට එක්වූ පැතුම් නිශ්ශංකට රුපියල් මිලියන ගණනක මුදල් ත්‍යාගයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වෙයි. පෙරේදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභා රැස්වීමේදී පැතුම් නිශ්ශංකට දිරි දීමනාවක් ලෙස විශාල මුදල් ත්‍යාගයක් ලබා දිය යුතු බවට යෝජනාවක් සම්මත වී තිබේ. එම තෑගි මුදල කොපමණද යන්න අද හෙටම ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වේ.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය බලා සිටියදීම ශ්‍රී ලංකාවේ වැඩිම එක්දින ලකුණු රැස්කළ පිතිකරුගේ වාර්තාව ද බිඳ හෙළීමට පැතුම් නිශ්ශංක සමත් විය. ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිමත් කිරීමේ අරමුණින් හා නැඟී එන ක්‍රීඩකයන්ට ආදර්ශයක් ලබා දීම වෙනුවෙන් මේ දිරි දීමනා ප්‍රදානය සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වේ.

සංචාරක ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පසුගිය 9 දා පැවති පළමු එක්දින තරගයේදී පැතුම් නිශ්ශංක මෙම ඉතිහාසගත දක්ෂතාව ප්‍රදර්ශනය කළේය.

වසර 2000දී සනත් ජයසූරිය සාජා පිටියේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 189ක් ලබා පිහිටුවා තිබූ එක්දින වැඩිම ලකුණු වාර්තාව මකා දමමින් පැතුම් නිශ්ශංක පන්දු 139කදී හයේ පහර 8ක් හා හතරේ පහර 20ක් සමඟ නොදැවී ලකුණු 210ක් ලබා ගැනීමට සමත් විය. ලෝක එක්දින පිටියේ මෙවැනි දක්ෂතාවක් දැක්වූ 7 වැනි පිතිකරු ලෙස පැතුම්ගේ නාමය ක්‍රිකට් වාර්තා පොතේ සටහන් විය.

මේ අතර ළඟ එන බංග්ලාදේශය සමඟ තරග සංචාරයේදී පැතුම් නිශ්ශංක විවේක ගැන්වීමටත්, ඔහු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ආරක්ෂා කර ගැනීමත් ක්‍රිකට් කළමනාකාරිත්වයේ අදහස වී තිබේ.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT