Sunday, May 11, 2025
Home » ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය අතළඟ තිබියදී පුහුණුකරු හතුරුසිංහට බාල්දියක් පෙරළෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය අතළඟ තිබියදී පුහුණුකරු හතුරුසිංහට බාල්දියක් පෙරළෙයි

by sachintha
February 28, 2024 1:28 am 0 comment

 

බීපීඑල් ප්‍රමිතියක් නෑ රූපවාහිනිය නිවා දමනවා යැයි කියලා

 

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ක්‍රිකට් තරගාවලිය ආරම්භවීමට දින 6කටත් වඩා අඩු කාලයක් තිබියදී බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ හා එරට ක්‍රිකට් පාලක මණ්ඩලය අතර, විශාල මත ගැටුමක් නිර්මාණය වී තිබේ.

ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා කිසියම් ආචාර ධර්ම පද්ධතියක් කඩ කර ඇත්නම් ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට එරට ක්‍රිකට් ආයතනය පැවසීම දක්වා මේ මත ගැටුම උත්සන්න වී ඇත.

චන්දික හතුරුසිංහ මහතා බංග්ලාදේශ ප්‍රධානතම ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ප්‍රසිද්ධියේ විවේචනය කළ බවට චෝදනා එල්ලවීමෙන් මේ මත ගැටුමේ ආරම්භ විය. “අපිට හරියාකාර විස්සයි20 තරගාවලියක් නැහැ. මේක හරිම අමුතු තරගාවලියක්. මම බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නරඹන විට සමහර වෙලාවට රූපවාහිනිය නිවා දමනවා. ඇතැම් ක්‍රීඩකයන් සුදුසු මට්ටමේ නැහැ” යනුවෙන් හතුරුසිංහ මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීම මේ ගැටුමේ ආරම්භය වේ. “දැන් පවතින ක්‍රමය ගැන මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මැදිහත් විය යුතුයි. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය යමක් කළ යුතුයි. බීපීඑල් සම්බන්ධයෙන් යම් නීතිරීති තිබිය යුතුයි. ක්‍රීඩකයන් තරගාවලිය අතරතුරදී තවත් තරගාවලියකට යනවා. සර්කස් එකක් වගේ. මෙහෙම වුණාම ප්‍රේක්ෂක ජනතාවගේ ක්‍රිකට්වලට ඇති උනන්දුව නැති වී යනවා. හරියට මට උනන්දුව නැති වුණා වගේ” පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා මාධ්‍ය සාකච්ඡාවේදී පවසා තිබිණි.

හතුරුසිංහ මහතාගේ මේ සම්මුඛ සාකච්ඡාව බංග්ලාදේශ ක්‍රිකට් පරිපාලනයේ කුණාටුවක් ඇති කළ හෙයින් එරට ක්‍රිකට් පාලක ආයතනය වහාම ප්‍රතිචාර දැක්වීය.

ඒ අනුව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති නසිමුල් හසන් මහතා ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට කිසියම් අවවාදයක් කරමින් මේ සම්බන්ධ පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත.

“ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා කිසියම් ආචාරධර්ම පද්ධතියක් කඩ කර ඇත්නම් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිය හැකියි. මුලින්ම අපි බලන්න ඕනේ ඔහු යම් ආචාරධර්ම කඩ කරලා තියෙනවද කියලා. එහෙම වුණොත් අපි අපේ නීති රෙගුලාසිවලට අනුව ක්‍රියාමාර්ග ගන්නවා” බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.

“එක් දෙයක් පැහැදිලියි. ක්‍රිකට් ආයතනයේ පූර්ව අවසරයකින් තොරව තරගාවලියක් අතරතුර කිසිවකුට එවැනි දෙයක් පැවසිය නොහැකියි. පුහුණුකරු, තේරීම් කමිටු සාමාජිකයන් හෝ ක්‍රීඩකයන් සමඟ අප ගිවිසුම් අත්සන් කොට තිබෙනවා. ඔවුන් මාධ්‍ය සමඟ කතා කිරීමට පෙර අපෙන් අවසර ගත යුතුයි” නසිමුල් හසන් මහතා අවධාරණය කළේය. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ තමන් ක්‍රිකට් අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරන බවයි.

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩල ප්‍රධාන විධායක නිලධාරී නසුමුඩීන් චෞද්රී මහතා ඊයේ ‘ඩේලි ස්ටාර්’ වෙත පවසා තිබුණේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා එම මාධ්‍ය සාකච්ඡාවකදී වැරදි අර්ථ නිරූපණයක් කර ඇති බවයි.

“මම ඒ ගැන හතුරුසිංහ සමඟ කෙටි සංවාදයක් පැවැත්වූවා. ඔහු කියා සිටියේ ඔහුගේ වචන වැරදි ලෙස අතිශයෝක්තියෙන් යුත් භාෂාවෙන් ලියා ඇති බවයි. හතුරුසිංහ මහතා විසින් එම සාකච්ඡාව මෙහෙයවූ වාර්තාකරුට කතා කර අපේ අධ්‍යක්ෂ මණ්ඩලයට දන්වන ලෙස පවසා ඇති බව ද බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා සඳහන් කළේය.

මේ දිනවල 10 වැනි සංස්කරණය ක්‍රියාත්මක වන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය බොහෝ කලකට පෙර, හොඳම ෆ්‍රැන්චයිස් ලීගය වූ ඉන්දීය ප්‍රිමියර් ලීගයට පමණක් දෙවැනි වූයේය. නමුත් වසර ගණනාවක් පුරා ඇති වූ ගැටලු රාශියක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ්, පාකිස්තාන සුපර් ලීග්, කැරිබියන් ලීග් හා ලංකා ප්‍රිමියර් ලීග්වලට වඩා පසුපසට තල්ලු වී ගියේය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT