වසර 110ක් පැරණි ඕපනායක, උඩවෙල අකරැල්ල පාලම වෙනුවට නෙදර්ලන්ත රජයේ ණය ආධාර යටතේ රුපියල් කෝටි 168ක වියදමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරනු ලබන ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ නව පාලමක් ඉදිකිරීම පසුගියදා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා ප්‍රියශාන්ති ද සොයිසා මහත්මියගේ ආරාධනයෙන්, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.
මෙම නව පාලමේ ඉදිකිරීම් මාස 6ක් තුල අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර අඩි 23 පළලින් යුතු මන්තීරු දෙකකින් යුතුව ඉදිකරනු ලැබේ.
පාලමේ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව ඕපනායක, අකරැල්ල ශ්‍රී සුදර්ශනාරාමය විහාරස්ථානයේ පැවති උත්සව සභාවේදී අදහස් දැක්වු විෂය භාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා
“රංජිත් සොයිසා මන්ත්‍රීතුමා ඉන්න කාලෙ මම රටේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විදියට රක්වාන, පැල්මඩුල්ල, ඕපනායක ප්‍රදේශවල දුවා දරුවන්ට හෙටක් ඇති කිරීම සඳහා තාක්ෂණ විෂයධාරාව හඳුන්වාදීල ඔබේ දරුවාට දැනුම පදනම් වෙන ලෝකයේ හෙට දවස ජයගන්නට අවශ්‍ය තම තමන්ට කරගන්න බැරි රජයක් වශයෙන් කරන්න ඕන උදව් අපි කරලා තියෙනවා.
මේ ගම්මානවලත් රටෙත් ඉන්න සාමාන්‍ය වැසියට තමන්ගේ අවශ්‍යතා තමන් පුද්ගලිකව කොතරම් වෙහෙස දැරුවත් තමන්ටම ඉෂ්ට කරගන්න බැහැ. පාලම්, විදුලිය, මාර්ගය තමන්ට හදාගන්න බැහැ. දේශපාලනඥයින් මොන කතා කිව්වත් තමන්ගේ ප්‍රශ්න තමන්ටම විසඳාගන්න බැහැ. එනිසා රටේ ජනයා ඒ ජනතාවට විසඳා ගන්නට නොහැකි ගැටලු විසඳා ගැනීම සඳහා වගකිවයුතු ආණ්ඩුවක් පත්කර ගන්න ඕන. නිදහසින් පස්සේ ලංකාවේ පත්කර ගත් ආණ්ඩු විසින් අපට දරන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩි වැඩ කොටසක් ලාංකීය සමාජයට කරන්න උත්සාහ කරල තියෙනවා. ලෝකයේ සෑම රජයක්ම මුදල් අය කරලා අධ්‍යාපනය දෙනකොට අපි දිගටම නිදහස් අධ්‍යාපනය යටතේ නොමිලේ අධ්‍යාපනය දීල තියෙනවා. බෙහෙත් හේත්වලට ලෝකයේ රටවල් සල්ලි ගන්නකොට හෘද සැත්කම් සිට සියල්ල රජය නොමිලේ දීල තියෙනවා. මංමාවත් හදලා විදුලිය දීලා ගංගාවල් හරවලා තියෙනවා. හැබැයි ඔක්කොම කරපු විදිය ජනතාවට කියලා නැහැ. කවුරු ජනාධිපති උනත්, කවුරු ආණ්ඩු කළත්, කවුරු අගමැති වුණත් සියලු ප්‍රාග්ධන ව්‍යාපෘති කරල තියෙන්නෙ දේශීය හා විදේශීයව ණය අරගෙන. නිදහසෙන් පසු පසුගිය අවුරුදු 76 තුළ කවුරු ආණ්ඩු කළත් ආණ්ඩුව පවත්වාගෙන යාමේ එදිනෙදා වියදම් ටික දරන්න ප්‍රමාණවත් ආදායමක් ලංකා ආණ්ඩුවට නැහැ. රාජ්‍ය සේවකයින්ට වැටුප්, විශ්‍රාම වැටුප් ගෙවිය යුතුයි. සමෘද්ධිය ඇතුළු සහනාධාර දිළිදු පවුල්වලට දිය යුතුයි. ගත්ත ණයවලට පොලී ගෙවිය යුතුයි. මේ වියදම පියවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් ලංකාවේ කිසිම ආණ්ඩුවකට තිබිලා නැහැ. ඒ නිසා සෑම ආණ්ඩුවක්ම දේශීය හා විදේශීය වශයෙන්ම ණය ගත්තා. ණය අරන් අරන් ණය ගෙවා ගන්න බැරිවුණා. දැන් අපි ලෝකයට ණය වෙලා තියෙනවා ඒ රටවල් අපට ශත පහක් වත් ණයට දෙන්නේ නැහැ. ඒ නිසා පාරවල්, ඇනිකට්, වේලි හදන්න බැහැ, උමා ඔය වැනි ඔයවල් හරවන්න බැහැ. ඒ නිසා විශාල ලෙස ආර්ථිකය කඩා වැටුණට පස්සේ එය නොදන්නා ලෙස බොරුව පතුරවපු ජනයා මහජන නියෝජිතයින් මරල, ගෙවල් ගිනිබත් කරල අරගලය කියලා මුළු රටම විනාශ කරාට පස්සේ රනිල් වික්‍රමසිංහ නායකතුමා රට භාර අරගෙන ජාත්‍යන්තරයට, ලෝකයට කිව්වා මේ ණය ගෙවනවා ගෙවන වැඩපිළිවෙළක් සකස් කරගන්නකම් අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුමක් ඇතිකරගත්තා.ඒ ගිවිසුම ඇති නොකර ගත්තානම් අදත් තමුන්නාන්සේලාට ගෑස්, තෙල් නෑ විදුලිය පැය දහයක් දොළහක් කපනවා. ඒ ගිවිසුම ඇති කරගෙන ලෝකයේ රාජ්‍ය නායකයෝ මුන ගැහිලා සාකච්ඡා කරලා ණය ආපසු ගෙවනව ක්‍රමවේදයක් හදලා ඉවර කරගෙන යනවා. ඒ එකඟතාවයන්ට පත්වීම නිසා නෙදර්ලන්තයෙන් ජානක වක්කුඹුර ඇමැතිතුමාට පාලම් එකසිය පනහක් හදන්න ප්‍රතිපාදන දෙන්න එකඟ වෙලා තියෙනවා. ඒ ණයවලින් තමයි මේ පාලම හදන්නේ පාලමට ගත්ත ණය ගෙවන්නේ ඔබ නොව ඔබගේ දරුවාගෙන් එන පරම්පරාවලින් එන ආණ්ඩුව. ඒ ආණ්ඩුව ඒක ගෙවන්න බැරිය කිව්වොත් අනාගතයේ ආයෙ ණය ලැබෙන්නේ නැහැ. දිගින් දිගටම ලෝකයට බොරු කියන්න බැහැ. දිගින් දිගටම ලෝකය නැතුව ලංකාව ගොඩ ගන්න බැහැ. ඒ නිසා දැන් අපි ඇති කරගෙන තියෙන ගිවිසුම තුළින් ඉදිරි අවුරුදු 5 – 6 තුළදී හිරවෙලා තියෙන විදේශ ණයවලින් 37% කුත්, 51% ඉදිරි අවුරුදු 6 – 20 අතර ගෙවන්න වෙනවා. 12%ක් අවුරුදු විස්සකට පසුව ගෙවනවා. 2050 වෙනකම් මේ හිර වෙච්චික ණය ගෙවන්න ඕනේ එහෙම ගෙවන්නේ නැති ආණ්ඩුවක් සුමාන දෙකකට වඩා ලංකාව ආණ්ඩු කරන්නේ නැහැ. ඒ නිසා පිකටින් කළාට, උද්ඝෝෂණ කළාට, ඔළුව පාරේ ගහගත්තට අපට පාලම් පාරවල් හදන්න ක්‍රමයක් නැහැ විදේශ ණය ආධාර නැත්නම්. එහෙම පුළුවන් කියල කවුරුහරි කියනවා නම් එක්කෝ අන්ත මෝඩයෙක් එහෙම නැත්නම් සුරුට්ටු කඩයක්වත් කරලා නැති දවසක්වත් රටක ආණ්ඩු කරන්න බැරි කෙනෙක් තමයි එහෙම කියන්නේ. ඒ නිසා රටක ප්‍රබුද්ධ ජනතාව බුද්ධිමත් ජනතාව වශයෙන් තේරුම් ගන්න ඕන ඉතාම අමාරු තැනකින් රට ගොඩ ගැනීම සඳහා අපි එකතු වෙලා මහන්සි වෙලා කටයුතු කළ යුතුයි.
පාරවල් පාලම් ඇනිකට් හදන්නේ ණයවලින් මේ ණය ගෙන ඒම සඳහා කටයුතු කරල තියෙන්නේ මේ මජන නියෝජිතයින්, ඇමතිවරුන්, ජනාධිපතිවරු, අගමැතිවරුන් ඒක රටක රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ කාර්යයන්. ඒ අනුව ඒ කාර්ය තුළ හෙට එච්චර කළුවර නැහැ. දැන් අපි මේ ණය ගෙවන ගිවිසුම්වලට ලබන මස අග වන විට අත්සන් තැබුවායින් පස්සේ අපි නතර වෙලා තියෙන කැඩිලා බිඳිලා තියෙන පාලම් සියල්ලේ වැඩ නැවත ආරම්භ කරනවා. දැනට තියෙන මුල්‍ය අරමුදල් යටතේ වර්ග කිලෝමීටර 1500 මේ අවුරුද්දේ කාපට් කරනවා. ඒ සදහා ජානක ඇමතිතුමාට හා මුදිතා මන්ත්‍රීතුමියට මගේ අමාත්‍යාංශයෙන් ලක්ෂ 2000 ගාණේ ලබා දෙනවා. ඊට වඩා වැඩිපුරත් නායකහාමුදුරුවන්ට හා වැලිගපොළ ගමට කරන ගෞරවයක් වශයෙන්ම මේ පාලමෙන් පාරේ මුල කොටස කාපට් කරලා ඉතිරි ප්‍රමාණය දරුවන්ට පාසල් යන්න පුළුවන් තත්ත්වයට ප්‍රතිසංස්කරණය කරලා දෙනවා. අපි එකතු වෙලා මහන්සි වෙලා මුලා නොවී අපේ රට ගොඩනැඟීම සඳහා වැඩි වැඩියෙන් වැඩ කරමු යයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට අකරැල්ල, ඕපනායක ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ විහාරාධිපති තැන්යායේ සුමංගල නාහිමියන්, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා, මුදිතා ප්‍රියශාන්ති ද සොයිසා මහත්මිය, වැලිගෙපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කැලුම් ප්‍රියංකර ජයසිංහ, මාර්ග සංවර්ධන අධිකාරියේ සබරගමු පළාත් අධ්‍යක්ෂ ඩී. ආර් එම්. විමල් ඇහැලියගොඩ මහත්වරුන් ඇතුළු පිරිසක් එක් විය.