ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් පෙරේදා (27) වන විට රුපියල් කෝටි 1100ක් (බිලියන 11ක්) පොහොර සහනාධාරය වශයෙන් ගොවි ගිණුම්වලට බැර කර ඇත.
ගොවි ගිණුම් පහළොස් ලක්ෂ විසිහය දහස් එකසිය අසූ නවයක් වෙත මෙම මුදල් බැර කර තිබේ.
මහ කන්නයේ වී වගා කරන ගොවි ජනතාවට පොහොර සහනාධාරය වශයෙන් රජය මඟින් වෙන් කළ රුපියල් බිලියන 11.6ක මුදලින් හෙක්ටයාර එකකට රුපියල් 15,000ක් බැගින් ගොවි ගිණුම්වලට මෙම මුදල් බැර කළ බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එම්.එච්.එල්. අබේරත්න මහතා සඳහන් කරයි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්රධානත්වයෙන් පෙරේදා (27) කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් සමඟ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේදී පැවැති සාකච්ඡාවකදී ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා මෙම කරුණු අනාවරණය කළේය.
එම සමස්ත මුදලින් ගොවි ගිණුම්වලට බැර කිරීමට තව ඇත්තේ සුළු ප්රමාණයක් බවත් දැනට මුදල් ගෙවීමට ඉතිරිව ඇත්තේ නුවරඑළිය හා බදුල්ල දිස්ත්රික්කවල ගොවීන්ට පමණක් බවත් එම දිස්ත්රික්කයන්හි වී වගාව ආරම්භ කරනු ලබන්නේ අනෙකුත් ප්රදේශවලට වඩා පසුව බවත් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී කරුණු පැහැදිලි කර තිබේ.
මීට අමතරව අනෙකුත් ප්රදේශවල ගොවීන් කිහිපදෙනකුට අදාළ මුදල් ලැබී නැතිනම් ඊට හේතුව ඔවුන් ලබා දුන් ගිණුම් අංක හෝ නම්වල ඇති දෝෂ සහිතභාවය විය හැකි බවත් කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී සඳහන් කර තිබේ. කෙසේ වුවද මේ වන විට වී වගා කළ සමස්ත ගොවීන්ගෙන් සියයට 98කටම අදාළ මුදල් ඔවුන්ගේ ගිණුම්වලටම යොමු කර අවසන් කර ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා ඇමැතිවරයා හමුවේ අවධාරණය කර ඇත.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පෙන්වා දී ඇත්තේ මෙවර මහ කන්නයේ වී අස්වනු ඉහළ යෑමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අනලස්ව කටයුතු කළ ආකාරය ඉවහල් වූ බවත් රටේ සියලු දෙනාගේ කෘතඥතාව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලැබිය යුතු බවත්ය.