අප්‍රේල් මාසය පමණ වන තෙක් යළි මෙරට බොහෝ ප්‍රදේශවලට තද වැසි නොලැබෙනු ඇතැයි කාලගුණ අනාවැකි පළවේ. එසේම, දිස්ත්‍රික් ගණනාවකට අදාළව දැනටමත් අධික වියළි කාලගුණයක් පිළිබඳ බලධාරීන් අවධාරණය කිරීම් කර තිබේ. එයින් මහජන සෞඛ්‍යයටත් අභියෝග එල්ල විය හැකිය. ඒ සඳහා ජනතාව සූදානම් විය යුත්තේ කෙසේද? අනුගමනය කළ යුතු පිළිවෙත් මොනවාද? අපි දැන් ඒ පිළිබඳ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතාගෙන් ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු විමසමු.
අධික වියළි කාලගුණ තත්ත්වයකටයි වැඩි දෙනෙක් මේ දිනවල මුහුණ දෙන්නේ?
ඔව්. මේ උෂ්ණත්වය වැඩිවීමත් එක්ක විජලනයත් මිනිසුන්ට වගේම සතුන්ට බලපාන්න පුළුවන්. ඉකුත් දිනවලදී එවැනි සිද්ධි රැසක් අපටත් දැක ගැනීමට ලැබුණා. වරක් කොළඹ එකම පාසලේ සිසුන් 7දෙනකු ක්ලාන්ත වීම් සහ විජලනය මූලික වුණු අසනීප තත්ත්ව නිසා රෝහලට ගෙනැවිත් තිබුණා. ඉතින්, විශේෂයෙන් ළමුන්ට වැඩිපුර ජලය පානය කිරීමට දීමට වැඩිහිටියන් මතක තබා ගත යුතුයි. අධික දහදියක් ඇති වීම මෙකල නිතර දක්නට පුළුවන්. එළිමහනේ වැඩි කාලයක් ගත කරන තැනැත්තන්ගේ ඒ ස්වභාවය ඉතා වැඩියි. එවිට අඩුවෙන් ජලය පානය කරනවා නම්, සිරුර වියළීමට ඇති ඉඩකඩ ඉතා වැඩියි. දහදියත් සමඟ අපේ ශරීරවල ඇති ලවණත් සිරුරෙන් බැහැර වෙනවා. ඒ අයට අපි වෙනදාට වඩා ජලය පානය කරන්නැයි නිතර උපදෙස් දෙනවා. ඒ සෝඩියම් නැති අඩුව ජලය පානයෙන් පමණක් පිරිමැහෙන්නේ නෑ. ඊට ලවණ අඩංගු දෑ සිරුරට එක්කර ගැනීමට උනන්දු වීම වැදගත්. දියර ආහාර, තැඹිලි, කුරුම්බා, දෙහි, දොඩම්, නාරං, දෙළුම්, කොමඩු ආදී පලතුරු වර්ගත් ලුණු පමණට අඩංගු කළ කැඳ, සුප් ආදියෙනුත් ඒ අවශ්‍යතාව සපුරා ගන්න පුළුවන්. ඒ පිළිබඳ කවුරුත් නිසි අවධානයක් යොමු කිරීම වැදගත්.
මෙතැනදී ස්වාභාවික පරිසරයෙන් සපයා ගත හැකි දෙය ගැනම කිවුවේ, ඒවා පරිභෝජනයෙන් අදාළ පෝෂක නොඅඩුව ලැබෙන අතරතුර සෞඛ්‍යයටත් වඩාත් හිතකර නිසයි. හැබැයි, සමහරු ඒ වග නොතකමින් පැණි බීම ආදිය දරුවන්ට වෙළෙඳසල්වලින් අරන් දීමට පෙළැඹිලා. දියවැඩියාව වැනි බෝ නොවන රෝග තත්ත්වවලට එය හිතකර නැහැ. මේ නිසා බුද්ධිමත්ව, වෛද්‍යවරුන්ගේ, පෝෂණවේදීන්ගේ උපදෙස් අනුව ළමුන්ට ආහාර පාන තෝරා දීමට කටයුතු කරන්නැයි දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටින්නට කැමැතියි.
අනෙක, සෑම වසරකම පාහේ අප්‍රේල් පමණ වන තෙක් වියළි කාලගුණ තත්ත්වයක් සොබාදහමෙන් හඳුනාගත හැකියි. එය මෙරටට පමණක් නෙවෙයි, ලෝකයේ වෙනත් බොහෝ රටවලත් සාමාන්‍යයි. එංගලන්තය ආදී රටවල් මෙකල පාසල් ළමුන්ට සැහැල්ලු කපු ඇඳුම් ඇඳීමට පොළඹවනවා. ඉතින්, ගස්වැල්, අපට අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා වන්නට මනා පිටිවහලක්. ඒත් ඉවක් බවක් නැතිව ගස් කොළන් කපා ඉවත් කිරීමෙන් ලෝකය පුරාම මිනිසා උණුසුම අවදානම් තැනකට ගෙන ගිහින්. අපිත් රටක් විදියට එක් අයෙක් වසරකට එක් ප්‍රයෝජනවත් පැළයක් බැගින්වත් වගා කළොත් රටක් විදියට ඉදිරියේදී අවදානම්කාරී උණුසුමක් ලෝකයාට ඇති වුවහොත් ඊට මුහුණ දීමට පහසු වෙනවා. ඒත්, තවම මෙරට ජාතික වගකීමක් විදියට ඒ පිළිබඳ අවධානයෙන් බලන බවක් පෙනෙන්නට නැහැ.
ඒ විජලනයට පිළියම්. ජනතාව පරෙස්සම් විය යුතු හැටි ගැනත් කියමු ද?
මෙකල සමහර පාසල් සිසු සිසුවියන් ක්ලාන්ත වීම් ආදිය නිසා රෝහල්ගත කළ අවස්ථා අපටත් දක්නට ලැබුණා. තවදුරටත් එය එසේ වීම වළක්වා ගැනීමට තද අව් රශ්මියට නිරාවරණය වීම හැකිතාක් අඩු කිරීමෙන් පුළුවන්. උදෑසනින්ම හෝ සවස් කාලය ක්‍රීඩා ආදී එළිමහන් කටයුතුවලට වෙන් කිරීම එක් පිළියමක්. ඒත්, පාසලේ දිවා කාලයේදී ක්‍රීඩා කරන අතරතුරදී ළමුන් තද අව්වට නිරාවරණය වෙන්න පුළුවන්. ඒ තත්ත්වය වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී තියෙනවා. ඒ අනුව කටයුතු කළ විට ක්ලාන්ත වීම්, විජලනයට පත්වීම් අඩු කර ගත හැකියි. ඒ සමඟම යම් හෙයකින් අව්වේ ක්‍රීඩා, සරඹ ආදී පුහුණුවීම් කරනවා නම් සැහැල්ලු, ලිහිල් කපු ඇඳුමකින් සැරසී ඊට යොමු විය හැකියි.
ක්‍රීඩා ආදී කටයුතුවලට එළිමහනට යනවා නම් විශේෂයෙන් තොප්පියක් පැලඳීම ප්‍රයෝජනවත්. වෙනදා පාසල් ගෙන යන වතුර බෝතලයට අමතරව තවත් එකක් ගෙන යෑමත් නුවණට හුරුයි. නොඅඩුව ජලය, ලවණ ඇති පාන වර්ග ආදිය ගැනීමටත් කවුරුත් අමතක නොකළ යුතු වෙනවා. ගොයම් කැපීමේ නිරත ගොවීන්ටත්, නිතර අව් රශ්මියට නිරාවරණය වී කටයුතු කරන කම්කරුවන් ආදීන්ටත් ඒ කරුණත් ඉතා වැදගත්. හමුදා පුහුණුවීම් ආදියේදීත් විජලනයට පත් නොවී ඒ කටයුතු කර ගැනීමට වැඩිහිටියන් විශේෂයෙන් මතක තබා ගත යුතු වෙනවා. ඒ ආදී වශයෙන් හිරු එළිය මඟ හැරිය නොහැකි තැනැත්තන්ට ඉහත උපදෙස් ඉතා වැදගත් වනු ඇති. අනෙක, පාසල් ක්‍රීඩා පිට්ටනිවලදී හැකි තරම් සෙවණ ඇති තැනකටවී ක්‍රීඩාවල යෙදිය හැකි නම් එය අධික දහදියත් සමඟ ඇතිවන විජලනයෙන් වැළකීමට මඟක්. ළමුන්ට දිනකට මිනිත්තු 20ක් වත් ජලයේ බැස සිටීමට හෝ ජල කරාමයෙන් දිය නෑමට ඉඩ සලසා දිය යුතුයි.
සමහරු තමන් විජලනයට ලක්වී ඇතැයි දැන නොසිටින්නත් පුළුවන්. මොනවාද ඒ ලක්ෂණ?
හිසරදය, වමනය, ඇඟපත වේදනාව, ක්ලාන්ත ගතිය අවි රශ්මියට නිරාවරණය වීමෙන් පසුව ඇතිවිය හැකි තත්ත්ව අතර ප්‍රධානයි. නිතර එළිමහනේ වැඩ කරන තැනැත්තන්ට මේ ලක්ෂණ වැඩිපුර ඇති වෙන්න පුළුවන්. පාරිසරික උෂ්ණත්වය ශරීර උෂ්ණත්වය ඉක්මවා යෑමට ආසන්න වන විටදී සිරුර ඒ තත්ත්වය සමනයට උත්සාහ කරනවා. ඒත් පරිසර උෂ්ණත්වය ශරීර උෂ්ණත්වය ඉක්මවා ගියවිට මරණ පවා වෙන්න පුළුවන්. එවැනි තාප කම්පන තත්ත්වවලදී සිහිසුන් වීම් පමණක් නොව, ආඝාත වැනි දරුණු විපාක ඇති වී මරණය පවා ඇති කළ හැකියි. තවත් අවධාරණය කළ යුතු කරුණක් වන්නේ, මවුපියන් දැඩි හිරු රශ්මියක් ඇති විටදී දරුවන්ව රථවාහන තුළ දමා පිටතට නොයා යුතු බවයි. එවිට වැඩි වේලාවක් එතුළ රැඳී සිටීම නිසා තාප කම්පන තත්ත්වයට ළමුන් පත්විය හැකියි. සිහිසුන් වීම් ඇතුළු අනපේක්ෂිත සිද්ධි ඇති වීමට පුළුවන්. අනෙක, සමේ රෝග තත්ත්වවලටත් සිරුරේ විජලනය බලපෑ හැකියි. අධික දහදිය නිසා කුඩා දරුවන්ට දහදිය බිබිලි ඇතිවී ඒවා කෙමෙන් වැඩි වීමත්, දද, කුෂ්ඨ වැනි සමේ රෝගවල වැඩිවීමටත් මෙය බලපාන්නට පුළුවන්.
අධික උණුසුම නිදන්ගත රෝග උත්සන්න කිරීමටත් බලපානවාද?
ඒ වගක් නිශ්චිතව කිව නොහැකියි. හැබැයි, හතියට කෙළින්ම බලපෑමක් තියෙනවා. දූවිලි වැඩිවීම ඊට හේතුවක්. කලෙක පටන් හතිය ඇති තැනැත්තන්ගේ ඒ රෝග තත්ත්වයේ වැඩි වීමක් මේ නිසා එළිමහනේ නිතර ගැවසෙන විට වෙන්න පුළුවන්. විශේෂයෙන් ළමා හතියට මේ තත්ත්වය වඩාත් බලපෑ හැකියි. ඒ නිසා වැඩිහිටියන් එවැනි ළමුන් එළිමහනේ කෙළි සෙල්ලම් කරන විට සෝදිසියෙන් සිටීම වැදගත්.
ඇස් රෝග ආදියත් හිස ඔසවයි ද?
ඉහළ යෑමක් වාර්තා වී නෑ. හැබැයි, වයිරස් උණ වැලඳීමේ යම් ප්‍රවණතාවක් වෙනවා. ඒ නිසා නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අවශ්‍යයි.
ඩෙංගු ගැනත් අමතක කරන්න බැහැ නේද?
ඇත්තෙන්ම. අනෙක, මේ ඩෙංගු පැතිරීම අඩු කරන්න තියෙන හොඳම වෙලාවක්. මදුරුවන් බෝවන තැන් විනාශ කර දමන්න මේ කාලය හොඳින්ම ප්‍රයෝජනයට ගත හැකියි. රජයේ හා පෞද්ගලික ආයතන පරිශ්‍ර, ඉදිකිරීම් වැඩබිම්, ගෙවතු, නිවෙස්වල වහල ආදිය පිරිසුදු කර ගැනීමට දින කිහිපයකට වරක්වත් කාලය වෙන් කර ගැනීමට කවුරුත් මතක තබා ගත යුතුයි.
හැබැයි බිලිඳු දරුවන්ට දැනෙන පීඩාව විස්තර කරන්නත් බැහැනේ?
හිරු රශ්මිය වැඩිවෙත්ම විජලනයට හා සම වියළීම වැළැක්වීමට නෑවීම, ඇඟ සේදීම කරනවා වගේම, දූවිල්ල පැතිරීමත් සමඟ මයිටා ප්‍රභේද ඇතිවීමෙන් විවිධ සමේ ආසාදන ඇතිවිය හැකි නිසා කුඩා දරුවන් කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවීමත් ඉතා වැදගත්.
වැලි මැක්කා කරන හානියත් සුළුපටු නැහැ නේද?
වැලි මැක්කා, දූවිලි මැක්කා වැනි සතුන්ගෙන් වන හානි කලෙක ඉඳන්ම වාර්තා වෙනවා. සමහරුන්ට හෝහපුටුවන්, මදුරුවන් දෂ්ට කිරීමෙන් හෝ ඇඟ ගැටීමෙන් විවිධ සංකූලතා ඇති වෙනවා. එවැනි අවස්ථාවලදී අත්බේත්වලට යොමු නොවී ළඟම රජයේ රෝහල කරා යොමු වන්නැයි කිව යුතුයි.
මන්දපෝෂණය අපේ රටටත් දැඩි බලපෑමක් ඇති කරලා?
ආර්ථික අර්බුද, රැකියා අහිමිවීම්, ආදායම් මාර්ග කඩා වැටීම් ආදිය නිසා පෝෂණය වෙනුවට කුසගින්න නිවා ගැනීම කෙරෙහි පමණක් සැලකිය යුතු පිරිසක් අවධානය යොමු කර ඇතැයි වාර්තා වෙනවා. තවත් අය දවසකට ගන්නා ආහාර වේල් ගණන අඩු කරමින් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට උත්සාහ ගන්නා බවත් ජනමාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ලැබෙනවා. ඒත්, වැඩෙන දරුවන්ට අඩු නැතිව පෝෂණය ඕනෑ කරනවා. හැබැයි, මිල අධික නිසා පෝෂණය ගැන නොතකා හරිනවාට වඩා අතේ ඇති මුදලෙන් මිලදී ගත හැකි තරමට ආහාරපාන මිලදී ගන්නවා. හැබැයි, පරිසරයෙන් පහසුවෙන් සපයා ගත හැකි පෝෂණ ගුණයෙන් ඉහළ එළවළු, පලතුරු ආදිය දරුවන්ට දීම වැඩිහිටියන්ට අපහසු නැහැ.
දරුවෙක් ඉපදී පළමු මාස හයේදී දරුවට මවුකිරි පමණක් ලබාදිය යුතු වුවත් ඉන් පසුව ඝන ආහාරවලට යොමු කිරීමේදී බත් සමඟ රතු කවුපි, සුදු කවුපි, මුං ඇට, බිත්තර, හාල් මැස්සන් ආදිය ලබාදීමෙන් මන්දපෝෂණය වළක්වාගත හැකියි. එසේම, මිලක් වැය නොවන පෝෂණ ගුණයෙන් අධික මුරුංගා කොළවල යකඩ, කැල්සියම් ආදී පෝෂණ අඩංගු බවත් හෙළිදරව් කරගෙන තියෙනවා. මේ අනුව ගම්බද ජීවත්වන බොහෝ දෙනකුට අවට පරිසරයෙන්ම තමන්ගේත් වැඩෙන දරුවන්ගේත් පෝෂණ අවශ්‍යතා සැලකිය යුතු ප්‍රමාණයක් පහසුවෙන් සපුරා ගත හැකියි.
ඉතින්, මන්දපෝෂණය සහිත දරුවන් හඳුනාගැනීම අපහසු නෑ. එවැනි දරුවන්ගේ මහන්සි ගතිය, මලානිකවීම, ඉගෙනීමට දුර්වලවීම, ක්‍රීඩා කටයුතුවලට යොමු නොවීම, ක්‍රියාශීලී නොවීම ආදී රෝග ලක්‍ෂණ පෙන්නුම් කරනවා. මවුපියන්ට දරුවන් දෙස විමසිල්ලෙන් බැලීමෙන් මේ ගති හොඳින් හඳුනාගත හැකියි. එවිට කල් නොයවා ඊට පිළියම් යෙදීමත් අනිවාර්යයි. නොඑසේ නම් දරුවන්ගේ මොළය ඇතුළු අභ්‍යන්තර ඉන්ද්‍රිය වර්ධනයටත් බාධා පැමිණිය හැකියි. ලේ හිඟකම ආදිය අද සමහර දරුවන්ට බලපා තියෙනවා. ළමා පරපුරේ පෝෂණය රටක් විදියට අපට කිසිසේත් දෙවැනි කොට සැලකිය නොහැකියි. ඒ වග නිතර වෛද්‍යවරු අවධාරණය කරනවා. ඒ කෙරෙහි බලධාරීන්ගේ නොමඳ අවධානයක් යොමු කළ යුතු වෙනවා.
නුවන් මහේෂ් ජයවික්‍රම