Home » අය වැය 11ක් ඉදිරිපත් කළ අමතක නොවන මුදල් ඇමැති

අය වැය 11ක් ඉදිරිපත් කළ අමතක නොවන මුදල් ඇමැති

by Gayan Abeykoon
February 29, 2024 1:19 am 0 comment

1925 අප්‍රේල් මස 11 දා උපත ලද හිටපු මුදල් ඇමැති රොනී ද මැල් මහතා 2024 පෙබරවාරි මස 27 වනදා අභාවප්‍රාප්ත විය. මේ ඒ මහතාගේ දේශපාලන ගමන් මඟ පිළිබඳ සකස් කළ ලිපියකි.

නිදහස් ශ්‍රී ලංකාවේ අවුරුදු හැත්තෑහයක පාර්ලිමේන්තු සහ රාජ්‍ය සභා ඉතිහාසය තුළ බලයට පැමිණි ආණ්ඩු රැසකි. ඒවායේ සිටි මුදල් ඇමැතිවරු ගණන බලයට පැමිණි ආණ්ඩු ගණනටත් වඩා වැඩිය. එහෙත් ආර්ථික සහ දේශපාලන වශයෙන් ජනතාවට දැනෙන දෙයක් කළ මුදල් ඇමැතිවරු සිටින්නේ හතර පස්දෙනෙකි. ජේ. ආර්. ජයවර්ධන නිදහස් ලංකාවේ පළමුවැනි මුදල් ඇමැතිය. ඒ නිසා ඔහු ඉතිහාසයෙන් මකාදැමිය නොහැකිය, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා අනෙක් මුදල් ඇමැතිය. මෙරට දේශීය නිෂ්පාදන සහ ස්වදේශීය කර්මාන්ත පිළිබඳව වැඩි බරක් තබා රට නඟා සිටුවීමට සැලසුම් කළේ ඔහුය. ඒ නිසා ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා දේශපාලන සහ ආර්ථික ලෝකයේ අදත් කතාබහට ලක්වන මුදල් ඇමැතිවරයාය. ඇන්. ඇම්. ඇති කළ ක්‍රමය උඩු යටිකුරු කළ මුදල් ඇමැතිවරයා රොනී ද මැල්ය. ජේ. ආර්. ජයවර්ධනගේ හයෙන් පහක මහා බලයක් ගත් ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා ඔහුය. මෙරටට අලුත් ආර්ථික ක්‍රමයක් හඳුන්වා දුන් රොනී ද මැල් මේ වන විට අප අතර නැත. එහෙත් ඔහු ඇති කළ විවෘත ආර්ථිකය විවිධ අභියෝග මැද පවා තවමත් ජීවමානය.

රොනීගෙන් පසු වමට බර සන්ධාන, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් කරගත් ජාතික ආණ්ඩු බිහි වුවද රොනීගේ ආර්ථික ප්‍රතිපත්තියේ මූලික හරය වෙනස් වූයේ නැත. අප කැමැති වුවද අකැමැති වුවද මෙරට මුදල් ඇමැතිවරු අතර සැමදා විචාරක අවධානය යොමු කර ගන්නා මුදල් ඇමැතිවරු තිදෙනා ජේ.ආර්.ජයවර්ධන, ඇන්. ඇම්. පෙරේරා සහ රොනී ද මැල්ය. ඒ අතරින් රොනීගේ බොහෝ වාර්තා බිඳ දමන්නට සමත් වූවෙකු අදත් නැත. ඔහු අවුරුදු එකොළහක් අඛණ්ඩව අය වැය බීෆ් කේසය රැගෙන මැති සබයට පැමිණ තැබූ වාර්තාව විශ්මය උපදවන සුළුය. පක්ෂ මාරු කිරීමෙන්ද රොනී ද මැල් ජනතාව අතර පමණක් නොව දේශපාලන ලෝකයටම රස මතක ඉතිරි කළේය. කවුරුන් කෙසේ කීවද රොනී ද මැල් යනු මුදල් ඉපැයීම අරමුණු කර දේශපාලනය කළ අයෙකු නොවේ ඔහු කුමන දේශපාලන කඳවුරක සිටිය ද කිසිදා ඔහුට හොරෙකුය යන නම පටබැඳුනේ  නැත. ඇත්තෙන්ම ඔහු අවංක දේශපාලනඥයකු ලෙස සඳහන් කළ හැකිය. රොනී ලෙස රටම දැන සිටිය ද රොනීගේ උප්පැන්න සහතිකයේ ඇති නම වෙනකකි. එහි ඔහුගේ නම සඳහන්ව තිබෙන්නේ රොනල්ඩ් ජෝසප් ගොඩ්ෆ්‍රි ද මැල් ලෙසය. රොනීගේ දේශපාලනය ජාතික අවධානයට යොමු වන්නේ ජයවර්ධන ආණ්ඩු කාලයේ වුවද ඔහු දේශපාලනය ආරම්භ කරන්නේ කලකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි.

 තරුණ පරිපාලන නිලධාරියා

රොනී ද මැල් උපත ලැබුවේ 1925 අප්‍රේල් 11 වැනි දින මොරටුවේදීය. හෙතෙම ප්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස ශාන්ත තෝමස්

අය-වැය රැගෙන මැති සබයට

අය-වැය රැගෙන
මැති සබයට

විද්‍යාලයෙනි. විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය සඳහා ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ තරුණ රොනී සිය මූලික උපාධිය උසස් ලෙස සමත් විය. ඉන්පසු ශිෂ්‍යත්වයක් මත කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගැනීමෙන් පසු මෙරට පරිපාලන නිලධාරියකු ලෙස සේවයට එක් විය. තරුණ පරිපාලන නිලධාරියකු ලෙස කටයුතු කළ රොනී ද මැල් මහතාගේ වෘත්තීය පරිපාලන රාජකාරී වුවද ඔහුගේ සිත බැඳී තිබුණේ දේශපාලන කෙරෙහිය. 1960 වර්ෂයේදී බණ්ඩාරනායක මැතිනිය නායකත්වය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන ඔහු 1965දී බිබිල ආසනයට තරග කරමින් දේශපාලන ගමන ආරම්භ කරන ලද්දේ මහමැතිවරණයට තරග කරමිනි. එදා ඔහුගේ දේශපාලන ප්‍රතිවාදියා වූයේ ඌව වෙල්ලස්සේ ප්‍රකට දේශපාලන චරිතයක් වූ ධර්මදාස බණ්ඩා මහතාය. එහෙත් පළමු තරගයෙන්ම රොනීට සිදු වූයේ ධර්මදාස බණ්ඩාට පරාජයට වීමටය. එහෙත් මැල් මහතාගේ දේශපාලන උණ හොඳ වූයේ නැත. ඔහු දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනය තුළ කටයුතු කළේය.

මේ අතර හදිසියේ දෙවිනුවර ආසනය වෙනුවෙන් 1967 වර්ෂයේදී  අතුරු මැතිවරණයක් පැවැත්වීමට රජය තීරණය කළේය. අතුරු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉදිරිපත් කළේ රොනී ද මැල්  මහතා. එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් වූයේ පී. පී. වික්‍රමසූරිය මහතාය. එක්සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ ව්‍යාපාරය භාරව කටයුතු කළේ එකල තිබූ එක්සත් ජාතික පක්‍ෂ රජයේ සභානායක සහ ඉඩම් අමාත්‍ය ලෙස සිටි සී. පී. ද සිල්වා මහතාය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් මැතිවරණය මෙහෙයවනු ලැබුයේ දඹදෙණිය මන්ත්‍රී ලෙස සිටි ආර්. ජී. සේනානායක මහතාය. මැතිවරණ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ඡන්ද 18,483ක් ද, එක්සත් ජාතික පක්‍ෂයට ඡන්ද 16,045ක් ද ලැබී තිබුණි. මේ අනුව රොනී ද මැල් මහතා වැඩි ඡන්ද 2438 කින් දෙවිනුවර මන්ත්‍රී ලෙස ජයග්‍රහණය කළේය. එමෙන්ම 1970 මැතිවරණයේදී ද රොනී ද මැල් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් දෙවිනුවර ආසනයට ඉදිරිපත් විය. ඒ සමගම පී. පී. වික්‍රමසූරිය මහතා නැවතත් එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කළේය.   තරගය තිබුණේ රොනී ද මැල් මහතා හා පී. පී. වික්‍රමසූරිය මහතා අතරය. මෙහිදී ඡන්ද 20,798 ක් ගත් රොනී ද මැල් මහතා වික්‍රමසූරිය මහතා පරදවා වැඩි ඡන්ද 6051 කින් දෙවිනුවර මන්ත්‍රී ලෙස ජය ලැබුවේය.

හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන, ගාමිණි දිසානායක මහත්වරුන් සමඟ රොනී ද මැල් මහතා

හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන, ගාමිණි දිසානායක මහත්වරුන් සමඟ රොනී ද මැල් මහතා

රොනී ද මැල් මහතාට උගත්කම සහ දේශපාලනන ජ්‍යෙෂ්ඨත්වය ඒ වන විට හොඳින් පිහිටා තිබුණ ද ඔහුට සමගි පෙරමුණු ආණ්ඩුවේ කිසිදු තනතුරක් හිමි වූයේ නැත. එය ඔහුට හිතාමතා කළ නොසැලකිල්ලක් බවට යන අදහස රොනීගේ සිත තුළ කෙමෙන් රෝපණය වෙමින් තිබුණි.එහි ප්‍රතිඵලය වූයේ රොනී ද මැල් මහතා සහ ආණ්ඩුව අතර තිබූ හොඳ හිත කෙමෙන් බිඳීයාමය. ඒ නිසා රොනී ද මැල් මහතා සහ සමගි පෙරමුණු රජය අතර පැවැති හොඳ හිත බිඳී තිබිණි.එහි ප්‍රතිඵලය වූයේ මැල් මහතා කෙමෙන් එවකට විරුද්ධ පක්ෂයේ නායකයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතා වෙත සමීපවීමය. අවසානයේදී ශ්‍රී ලංකා කාරයකු වූ රොනී යූ. ඇන්. පී. කාරයකු විය. ඔහුට දෙවිනුවර එ.ජා.ප. සංවිධායක ධුරය ලැබුණි.  1977 මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්‍ෂයේ ආසන සංවිධායකවරුන්ගේ ඡන්දයෙන් පත් කළ දහදෙනකුගෙන් සමන්විත කොමිටියට ද රොනී ද මැල් මහතා තේරී පත් විය. 1977 මැතිවරණයේදී දෙවිනුවර ආසනයට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කරනු ලැබුවේ  රොනී ද මැල් මහතාය. එම මැතිවරණයෙන් ඡන්ද 23,776ක් ලබා ගනිමින් රෝනී ද මැල් මහතා  දෙවිනුවර මන්ත්‍රී ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය. 1977 මැතිවරණය වන විට ජයවර්ධන මහතා සිය ඡායා කැබිනට් මණ්ඩලය තෝරාගෙන තිබුණි. එහි නිවාස ඉදිකිරීම් ඇමැති ධුරය රණසිංහ ප්‍රේමදාස මහතා වෙනුවෙන් වෙන්කර තිබූ අතර, මුදල් සහ ක්‍රමසම්පාදන ඇමැතිවරයා ලෙස ජේ.ආර්.ජයවර්ධන මහතාගේ තේරීම වූයේ රොනී ද මැල් මහතාය.එවකට එක්සත් ජාතික පක්ෂයට ජ්‍යෙෂ්ඨයකු නොවූ මැල් මහතාට මුදල් සහ ක්‍රමසම්පාදන වැනි ප්‍රබල වගකීමක් ඇති අමාත්‍යාංශයක් වෙන් කිරීම ජයවර්ධන මහතා ගත් පෙරළිකාර සහ නිර්භය තීරණයක් විය.

 ආර්ථිකය වෙනස් කළ රොනී

මහ මැතිවරණයෙන් 5/6 ක අසීමිත පාර්ලිමේන්තු බලයක් හිමිකර ගත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ මෙරට ආර්ථිකය තුළ මුල් බැසගෙන පැවැති යල් පැනගිය රාජ්‍ය ඒකාධිකාරය වෙනුවට විවෘත ආර්ථික ක්‍රමයක් හඳුන්වා දීමටය. එසේම කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය, නිදහස් වෙළෙඳ කලාපය, නිවාස ලක්‍ෂයේ වැඩපිළිවෙළ වැනි මහා පරිමාණ මට්ටමේ සංවර්ධන වැඩසටහන් කීපයක් ගැන ද ඔහුගේ සිතේ රැඳී තිබුණේය. එහෙත් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් රජය සතුව නොතිබීම බරපතළ ගැටලුවක්ව පැවැතිණි. වෙනත් ලෙසකින් සඳහන් කළහොත් ජයවර්ධන මහතාගේ එකම පරමාර්ථය වූයේ මෙරට ආර්ථික සහ සමාජයීය තත්ත්වය උඩුයටිකුරු කිරීමය. ඒ සඳහා තෝරාගත් ජේ.ආර්.ගේ බැටෑලියන් එකේ පෙරමුණේ රාළ කෙනෙකු වූයේ රොනී ද මැල් මහතාය.

එම තීරණය ගැන ඇසූ පක්‍ෂයේ බොහෝ ජ්‍යෙෂ්ඨයන්ගේ සිත තරමක් රිදී තිබුණේය. මුල සිටම එජාපය සමඟ රැඳී සිටි තමන්ට වඩා ලොකු හැන්දකින් 1974 දී පක්‍ෂයට එක්වූ රොනීට බෙදා තිබීම ඔවුන්ගේ කනස්සල්ලට පත්වී තිබිණි. ඒ සියලු දෙනාම රොනී ද මැල් වැඩේ අනාගන්නා හැටි දකින්නට කැමැත්තෙන් පසුවූහ. එහෙත් රොනී ද මැල් වැඩේ අනාගත්තේ නැත. ඒ වෙනුවට ඔහු වැඩේ හිතුවාටත් වඩා හොඳින් ඉටු කළේය. එහෙත් තමන් වෙත ලැබුණු වගකීම බරපතළ එකක් බව රොනී ද මැල් තේරුම්ගෙන සිටියේය. ඒ අනුව ඔහු මුලින්ම කළේ එංගලන්තය, අමෙරිකාව, ප්‍රංශය, ජපානය වැනි රටවලට ගොස් එම රාජ්‍ය නායකයන් හමුවී සාකච්ඡා කිරීමය. ඒ අතර ලෝකු බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍යායතන ප්‍රධානීන් හමුවීමය.

රොනී ද මැල් මහතා රජයේ අය වැය ලේඛන 11 ක් ඉඳිරිපත් කළ අතර, විවෘත ආර්ථිකය ඇති කිරීමේ පුරෝගාමීන් අතර ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට පමණක් දෙවනි වෙමින් විවෘත ආර්ථිකය තුළ විශාල කාර්ය ප්‍රමාණයක් ඉටු කළේය.

 ජනපති ජේ.ආර්. ගේ විශ්වාසවන්තයා

1982 දෙසැම්බර් මස තිබූ ජනමත විචාරණ තුළ මැල් මහතාට තීරණාත්මක පරාජයක් හිමි වූයේ ආණ්ඩුව නියෝජනය කළ මතය වූ පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමිය යුතු බවට වූ මතය පරාජය කරමින් කළගෙඩිය ලකුණ ජයග්‍රහණය කිරීම නිසාය. ඒ වාතාවරණය තුළ ආණ්ඩුවේ මතය පරාජය වන  කොට්ඨාස මන්ත්‍රීන් කලින්ම ඉල්ලා අස්වීමේ ලිපි ලබාදී තිබීමත් නිසා මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතා ඇතුළු මන්ත්‍රීවරු 18 දෙනකුට 1983 පෙබරවාරි 9 වැනිදා සිය ආසන අහිමි විය. ඒ අනුව මන්ත්‍රී ධුර අහිමිවූ 18 දෙනා නියෝජනය කළ ආසන වෙනුවෙන් අතුරු මැතිවරණ පැවැත්වීමට තීරණය විය. ඒ අතර හිටපු මන්ත්‍රීන් කිහිපදෙනකුට නැවතත් එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කිරීමට නාම යෝජනා ලැබුණු නමුත් තවත් අයට නොලැබුණි. නමුත් එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය රොනී ද මැල් මහතා වෙනුවෙන් ක්‍රියාත්මක කළේ වෙනත් පිළිවෙතකි.  1987 ජූලි 29 වැනිදා අත්සන් කරනු ලැබූ ඉන්දු ලංකා ගිවිසුමට සහාය දුන් ගාමිණී දිසානායක ඇමැතිවරයා සමඟ සිටි ප්‍රබල ඇමැතිවරයකු වූයේ රොනී ද මැල් මහතාය. මේ වකවානුව වන විට, 1988 ජනවාරි මුදල් අමාත්‍ය ධුරයෙන් රෝනී ද මැල් ඉල්ලා අස්වූයේය. පසුව මුදල් අමාත්‍ය ධුරයට පත්වූයේ උප ඇමැතිවරයකු වූ එච්. එච්. නයින මරික්කාර් මහතාය. අනතුරුව රොනී ද මැල් මහතා 1988 සැප්තැම්බර් 22 වන දින බුලත්සිංහල මන්ත්‍රී ධුරයෙන් පමණක් නොව එක්සත් ජාතික පක්‍ෂයෙන් ද ඉවත් විය. ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ ආර්ථික කටයුතු ගැන පෙරමුණේ රාළ  වූ රොනී ද මැල් මහතා ඒ සමඟ නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එකතු විය. 1988 දෙසැම්බර් මස පැවැත්වූ ජනාධිපතිවරණයේදී රොනී ද මැල් මහතා ආධාර කරනු ලැබුයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තරග කළ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය වෙතය. මෙරට දීර්ඝ කාලයක් එක දිගට මුදල් ඇමැතිකම දැරූ පුද්ගලයා වනුයේ 1977 බලයට පත් ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ රොනී ද මැල්  මුදල් අමාත්‍යවරයාය. ඔහු වසර 12 ක් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම්සහගතව කටයුතු කළේය.

ඔහු නැවතත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සහ පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් අවස්ථා කිහිපයකදීම මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර අතර, ඔහු 2005 වසරේදී දේශපාලනයෙන් සම්පූර්ණයෙන් විශ්‍රාම ගත් රොනී ද මැල්  මහතා 2005 සිට 2010 දක්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වශයෙන්ද කටයුතු කළේය.

දිවි ගමනේ ශත වර්ෂය පෙනී පෙනී තම දිවි ගමන නිමා කළ රොනී ද මැල් මහතා තව ශත වර්ෂයක් ගත වුවද දේශපාලන ලෝකයට අමතක නොවන චරිතයකි.

උදිත ගුණවර්ධන

ඡායාරූප – ලේක්හවුස් පුස්තකාලයෙනි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT