විදේශගතව සිටිමින් මෙරට ජාතික ආරක්ෂාවට සහ මහජන සාමයට අවහිර වන ලෙස කටයුතු කළ බවට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින පාතාලයේ ප්‍රබලයකු වන සෙල්ලප්පෙරුමගේ සළිඳු ගුණරත්න නොහොත් කුඩු සළිඳුට පවතින කන ආශ්‍රිත රෝගය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන මාර්තු මස 6 වනදා අධිකරණයට කරුණු දක්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වෙත කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (28) නියෝග කළේය.
සැකකරු උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කර වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නැයි ඔහු වෙනුවෙන් මෝසමක් මඟින් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ ඉවෝන් නිරාෂා මහත්මිය ඊයේ (28) සිදු කළ දැනුම් දීම සලකා බැලූ මහේස්ත්‍රාවරයා මේ නියෝගය සිදු කළේය.
තමාට එවැනි නියෝගයක් නිකුත් කිරීමට නොහැකි බව එහිදී කියා සිටි මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ යහපත් පැවැත්ම සඳහා පමණක් නියෝග නිකුත් කිරීමට හැකි බවත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු වන්නේ ඔහු පරීක්ෂා කරන වෛද්‍යවරයා බවත් කියා සිටියේය.
සළිඳු මල්ෂිත අසනීප තත්ත්වයෙන් පසුවන බවත් ඔහු සාමාන්‍ය වෛද්‍යවරයකු පරීක්ෂා කළ අවස්ථාවේදී දින 5කට ලබා දී ඇති ඖෂධ මේ වනවිට අවසන්ව ඇති බවත් නීතිඥවරිය කීවාය.
“විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙස නියෝග නිකුත් කරන්න බැහැ. අධිකරණෙය් කාර්යභාරය වී ඇත්තේ රැඳවුම් භාරයේ සිටින සැකකරුගේ යහපැවැත්ම සහතික කිරීම පමණයි“ යැයිද මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.