පරාටේ බලතල ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ගත් තීරණය නිසා බැංකු පද්ධතියට සිදු වන හානිය පිළිබඳව මහ බැංකුවෙන් නිරීක්ෂණය කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලැබූ පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට ගෙන ඇති යෝජනාව සමඟ බැංකු පද්ධතියට සිදු වන බලපෑම කෙසේදැයි ‘දිනමිණ’ කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
“මේ වසරේ දෙසැම්බර් මස 15 වැනිදා දක්වා පරාටේ බලතල ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එහෙත් ගනුදෙනුකාර පාර්ශ්වයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා බැංකුවලට ඇති අයිතියට මෙමඟින් බලපෑමක් නෑ. ආර්ථික අර්බුදය හේතුවෙන් වඩාත්ම පීඩාවට පත් ක්ෂේත්රය වන සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය නඟාසිටුවීමට මේ පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මෙමඟින් බැංකු පද්ධතියට සිදු වන හානිය පිළිබඳව මහ බැංකුවෙන් නිරීක්ෂණය කරනවා. පරාටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ රුපියල් මිලියන 5කට වැඩි ණය සඳහායි. ඒ වෙනුවෙන් ඇප ලෙස තබා ඇති දේපොළ අධිකරණමය ක්‍රියාමාර්ගවලින් තොරව අත්පත් කරගැනීමේ හැකියාව මෙමඟින් බැංකුවලට හිමිව තිබෙනවා.”