1961 අංක 31 දරන ආයුර්වේද පනතට සංශෝධන ගෙනැවිත් ඇත්තේ දේශීය වෙදකම හෝ එම කර්මාන්තය ආරක්ෂා කිරීමට නොවන බව ශ්‍රී ලංකා නිදහස් දේශීය වෛද්‍ය සංවිධානයේ සභාපති, වෛද්‍ය ඉන්ද්‍රානි සේනාරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
ඇය මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (27) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙලෙස ද කීවාය.
“මේ පනත සඳහා සංශෝධන ගෙනැවිත් තියෙන්නේ නිලධාරීන් කිහිප දෙනකුගේ අවශ්‍යතා වෙනුවෙන්. හෙළ වෙදකම ආරක්ෂා විය යුතු නිසා හෙළ වෙද සභාවක් දෙන ලෙසත් ඉල්ලා සිටිනවා.
අතීතයේ සිට අපේ රටේ දේශීය වෙදකම හෙවත් හෙළ වෙදකම තිබුණා. කලාඳුරු, තිප්පිලි ආදී බෙහෙත් යොදා ගනිමින් එම වකවානුවේදීත් බෙහෙත් කළා. එතැන් සිට අපේ දේශීය වෙදකම විවිධ අයුරින් වර්ධනය වූණා. සෑම නිවෙසක්ම දේශීය වෙදකමට පුරුදු වී සිටියා. නමුත් වර්තමානය වන විට දේශීය වෙදකම, ආයුර්වේද වෙදකම ආරක්ෂා කරනවා වෙනුවට එම ක්ෂෙත්‍රයේ අර්බුදකාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා. දේශීය වෙදකම, පාරිම්පරික වෛද්‍ය ක්‍රම පරිහානියට පත්කිරීමේ යම් උත්සාහයක් දක්නට ලැබෙනවා.
පාරිම්පරික වෛද්‍යවරුන් මෙන්ම උපාධිය ගන්නා වෛද්‍යවරුන් ද සිටිනවා. වසර හයක පුහුණුව ලබා දේශීය වෛද්‍යවරුන් බවට පත්වන පිරිසක් ද සිටිනවා. පසුගිය වකවානුවේදී දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, අදාළ නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය ද මැදිහත්වී 1961 අංක 31 දරන ආයුර්වේද පනතට සංශෝධන ගෙන ආවා. නමුත් මේ සංශෝධන ගෙන ආවේ දේශීය වෙදකම ආරක්ෂා කිරීමට ද යන්න ගැටලුවක්. ඇත්තටම මේ පනත ගෙන ආවේ ආයුර්වේද වෙදකම ආරක්ෂා කිරීම වෙනුවෙන් නෙවෙයි. මේ පනතේ යම් යම් වගන්ති නිසා හෙළ වෙදකමේ නිරත වන වෛද්‍යවරුන් බොහෝ පිරිසකට ප්‍රශ්න ඇති වෙනවා. ඇත්තටම මේ සංශෝධන ගෙන ආවේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ තනතුරු ඉහළ දමා ගැනීමට.
අද වෙනකොට දේශීය ඖෂධ කෝ. කොතල හිඹුටු, තිප්පිලි, වෙණිවැල්ගැට මේ බෙහෙත් සොයා ගන්නත් නෑ. දේශද්‍රෝහී ලෙස මේවා විනාශ කරන්න මුල්වී තිබෙනවා. මේ පනත් කෙටුම්පතට විරුද්ධව අපි අධිකරණයටත් ගියා. ඒ වෙලාවේ පරස්පර විරෝධී කාරණා 13ක් ඇති බව අධිකරණයේ මතය වුණා. එසේ තිබියදී තමයි මේ පනත් කෙටුම්පත සම්මත කරන්නට කටයුතු කළේ. කංසා වගාව ව්‍යාප්ත කරනවා කියලා කියනවා. මෙහි ඇත්ත අරමුණ මොකක්ද? මෙහිදී කංසා ව්‍යාප්ත කරන්න හදන්නේ ව්‍යාපාරික අවස්ථාවක් ලෙසයි. එසේ නොමැතිව ආයුර්වේද වෛද්‍යවරුන්ට ඖෂධ නිෂ්පාදනයට අවස්ථාව දීම වෙනුවෙන් නෙවෙයි මෙය සිදු කරන්නේ. ඕනෑම රජයක් විසින් අපේ සහාය ඉල්ලා සිටිනවා නම් අපි සහාය දෙනවා. නමුත් කවුරුත් අපේ සහාය ඉල්ලා නෑ. ඒ නිසා අපි කියන්නේ හෙද වෙද සභාවක් අපට දෙන්න කියලයි.”
මේ අවස්ථාවට ආයුර්වේද වෛද්‍ය සීතා දමයන්ති මහත්මිය ද එක්ව සිටියාය.