කලක් යුද හමුදා සේවයේ සිට විශ්‍රාම ගෙන සිටින පිරිසකට, පෞද්ගලික ආරක්ෂක සේවයේ යොදවා වැටුප් ලබා නොදුන් බව කියමින් 20ක පමණ විශ්‍රාමික හමුදා රණවිරුවන් පිරිසක් පෙරේදා (27) කුලියාපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ. මාස කිහිපයක්ම තමා ඇතුළු කණ්ඩායමක් වෙළෙඳ සංකීර්ණ ගොඩනැඟිල්ලක ආරක්ෂක සේවයේ යොදවා මුදල් නොගෙවූ බව ඒ කණ්ඩායමේ කැඳවුම්කරු විශ්‍රාමික හමුදා නිලධාරි ප්‍රදීප් නිශාන්ත මහතා පැවසුවේය.
තමා ඇතුළු කණ්ඩායම සම්මුඛ පරීක්ෂණයක් පවත්වා අදාළ ආරක්ෂක සේවයට බඳවාගත් බවත්, එහිදී ඒ වෙළෙඳ සංකීර්ණය සඳහා 45ක පමණ බළඇණියක් සේවයේ යෙදවූ බවත් ප්‍රදීප් නිශාන්ත මහතා කීය. එමෙන්ම කලක් ආරක්ෂක නිලධාරීන් වශයෙන් සේවය කරමින් සිටියදී විවිධ පුද්ගලයන්ට බලපෑම් කරන ලෙසත්, ඇතැම් අංක සහිත වාහනවලට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙසත් උපදෙස් දුන් අතර, දුන් ඇතැම් උපදෙස් නීත්‍යනුකූල නොවන බව තමා සක්‍රිය හමුදා සේවයේ සිටි නිලධාරියකු වශයෙන් දන්නා නිසා ඒවා ප්‍රතික්ෂේප කිරීම මත ආරක්ෂක අංශයේ හිමිකාරිනිය හා කළමනාකරු 30 වසරක යුද්ධයට පවා දායකත්වය දැක්වූ රණවිරුවන්ට ඉතා නොසරුප් වචනයෙන් නිතර බැණ වැදුණු බවද ඔහු පැවසීය.
ඒ ගොඩනැඟිල්ල පිළිබඳ පාර්ශ්ව දෙකක ගැටුමක් සම්බන්ධයෙන් නඩු පවතින බවත්, ඒ පාර්ශ්ව දෙකෙහි හරිනි විජේතුංග නමැත්තියගේ පාර්ශ්වයෙන් ආරක්ෂක නිලධාරීන් ලෙස තමා ඇතුළු කණ්ඩායම යොදවා තිබූ බවත් පැවැසූ ඒ මහතා, නඩුවකින් භුක්තිය දී තිබූ අනෙක් පාර්ශ්වයේ සුරංග මුතුකුඩ නමැත්තා පැමිණි අවස්ථාවේ ඔහුට පහර නොදීමද වැටුප් නොදීමට හේතුවක් බව කීවේය. එමෙන්ම පොලිසියට අසත්‍ය ප්‍රකාශ දෙන්නැයි නිරතුරුව කරන නියෝග නොපිළිපැදීමද තමන්ට මෙලෙස සැලකීමට හේතුවක් බව ද ඔවුහු කියති.
ඔවුන් සේවය කරන කාලසීමාවේ පෙට්‍රල් බෝම්බ, කඩු ආදි තහනම් ආයුධ රැසක් ඒ ගොඩනැඟිලි පරිශ්‍රයේ රඳවාගෙන සිටි බවත්, තවත් අධි සංවේදී තොරතුරු රැසක් තමන් හා මේ අසාධාරණයට ලක්ව ඇති පිරිස සන්තකයේ වීඩියෝ සාක්ෂි වශයෙන් පවතින බවත් පවසන ප්‍රදීප් නිශාන්ත මහතා, තමාට සාධාරණයක් නොවුණ හොත් ඒ සියල්ල අදාළ පාර්ශ්වයන් වෙත මුදාහරින බවද සඳහන් කළේය. තමා සේවය කළ ආරක්ෂක අංශයේ කිහිප දෙනකු පොලිසියට මේ ගැන පැමිණිලි කිරීම සඳහා කුලියාපිටිය නගරයට එක් වූ අවස්ථාවේ, හෝරා ස්තම්භය අසලටම පැමිණ පිරිසක් පිහියක් පෙන්වා පැමිණිලි නොකරන ලෙස බලපෑම් කළ බව ද ඔහු කියයි. පොලිසිය අසල සිටියදී පවා ඔවුන් ත්‍රිරෝද රථයකින් පැමිණ මැරුම් නොකා පිටවන ලෙස බලපෑම් කළ බවද ඔහු පැවැසීය.
රු. ලක්ෂ 13කට ආසන්න වැටුපක් තම පිරිසට ලැබීමට ඇති බව කියන ප්‍රදීප් මහතා, පැමිණි සියල්ලන්ගේ පැමිණිලි වෙනුවට පොලිසිය තමන්ගෙන් පමණක් පැමිණිල්ලක් සටහන් කරගත් අතර, මේ වන විට නීතිඥ මණ්ඩලයක සහායෙන් කම්කරු කොමසාරිස් කාර්යාලයට හා කම්කරු උසාවියේ නඩු පැවරීමටත් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමටත් කටයුතු සිදු කොට අවසන් බවත් වැඩිදුරටත් කීවේය.