ලෝක මුහුදු තෘණ දිනය සැමරීමේ ජාතික උත්සවය, පරිසර අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන්ගේ සහයෝගයෙන් හෙට (1) පෙ.ව. 8.30 සිට ප.ව. 6. 00 දක්වා පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් හා පරිසර අමාත්‍යාංශ ලේකම් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ සහභාගිත්වයෙන් මීගමුව ජෙට්වින්ග් බ්ලූ පරිශ්‍රයේදී පැවැත්වේ.
මෙවර ලෝක මුහුදු තෘණ දිනය සැමරීමේ ජාතික උත්සවය ‘නීල පිබිදුම: ප්‍රජා උන්නතිය උදෙසා සශ්‍රීක මුහුදු තෘණ’ (Blue for blooming: vitalising seagrass resilience for livelihoods) යන තේමාවෙන් පවත්වනු ලබන අතර, මේ වැඩසටහනට සමගාමිව චිත්‍ර තරගයක්, පාපැදි සවාරියක් සහ සරුංගල් සන්දර්ශනයක් පැවැත්වීම මඟින්ද මුහුදු තෘණ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් එදිනම මීගමුව ජෙට්වින්ග් බ්ලූ ආශ්‍රිත මුහුදු වෙරළේදී පෙ.ව. 8.00 සිට ප.ව. 7.00 දක්වා පැවැත්වීමට අපේක්ෂිතය.
මෙහිදී මීගමුව තෝරාගැනීමට විශේෂ හේතුව වනුයේ මීගමුව කලපුවේ තිබී ඇති මුහුදු තෘණ විශාල ප්‍රමාණයක් මේ වන විට හායනයට ලක් වී තිබීම හේතුවෙන් එ් පිළිබඳව අවධානය යොමුකොට සංරක්ෂණයට යොමු කිරීමයි. මේ මුහුදු තෘණ පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීම කාලෝචිත වන අතර ඒ සඳහා ගත හැකි ඉදිරි ක්‍රියාකාරකම් කීපයක් හඳුනාගෙන ඇත.
මුහුදු තෘණ පිළිබඳ දත්ත ඇතුළත් ජාතික මට්ටමේ දත්ත පද්ධතියක් නිර්මාණය කර ඒ මඟින් මහජනතාව දැනුවත් කිරීම සහ සංරක්ෂණ කටයුතු සඳහා රාජ්‍ය, පෞද්ගලික සහ රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වය ගැනීම, මේ පරිසර පද්ධතියට හානි වන ක්‍රියාකාරකම් අවම කරලීමට කළමනාකාරී සැලසුමක් සකස් කිරීම මෙන්ම නීතිමය රාමුව සවිමත් කිරීම, විශේෂයෙන්ම මුහුදු තෘණ භූමි පවතින ප්‍රදේශ සංරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කොට ඒවායේ මනුෂ්‍ය ක්‍රියාකාරකම් අවම කරලීම මඟින් ඉතා විශාල මුහුදු තෘණ භූමි සංරක්ෂණය සිදු කළ හැකිය.
ලෝක මුහුදු තෘණ දිනය සැමරීමේ ජාතික උත්සවය පැවැත්වෙන හෙට (1) ශ්‍රී ලංකාව විසින් 2024 පෙබරවාරි 27 වන දින කෙන්යාවේ නයිරෝබි නුවරදී පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේදී පිරිනැමුණු World Restoration Flagship සම්මානය පිළිබඳ ජාතික වශයෙන් සටහන් කිරීමට නියමිතව ඇත. එක්සත් ජාතීන්ගේ World Restoration Flagship සම්මානය යනු රට පුරා අප්‍රමාණ ජීවිත සහ ජීවනෝපායන් සඳහා උපකාර වන මේ අත්‍යවශ්‍ය පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ශක්‍ය, කල්පවත්නා විසඳුම් කාලෝචිත ලෙස පිළිගැනීමකි.
ඒ අනුව මේ සම්මානය ශ්‍රී ලංකාව විසින් හිමි කර ගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ විටිනා පරිසර පද්ධතියක් වන කඩොලාන පද්ධති යළි ගොඩනැඟීමට සහ ප්‍රතිෂ්ඨාපනය කිරීමට ජාතික මට්ටමින් දරන ලද අත්‍යවශ්‍ය උත්සාහයන් අගයමිනි. එය සංරක්ෂණ ලෝකයේ අන්තර්ජාතික වශයෙන් අවධානයට ලක්වන සුවිශේෂ ජයග්‍රහණයක් සටහන් කරයි. මේ සම්මානය මඟින් පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය සඳහා එක්සත් ජාතීන්ගේ මූලධර්ම ඵලදායී ලෙස භාවිත කරන අතරම, ලොව පුරා අනාගත සාර්ථකත්වය සඳහා රාමුවක් ලෙස සේවය කළ හැකි ගෝලීය වශයෙන් සැලකිය යුතු හොඳම භාවිතයන් සහ ක්‍රමවේදයන් ඉස්මතු කෙරෙන අතර අපේ රටට එම සම්මානය හිමි වීම සුවිශේෂ සංරක්ෂණ කඩඉමක් ලෙස හැඳින්විය හැකිය.