ඉන්දීය ධීවරයන් දිගින් දිගටම මෙරට මුහුදු තීරයේ සිදු කරන ආක්‍රමණයන් නතර නොකර ශ්‍රී ලංකා රජයට දිගින් දිගටම බලපෑම් කළහොත් තමන් ධීවර ඇමැති ධුරයෙන් ඉවත් වී අප රටේ ධීවරයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවැසීය.
මෙරට ධීවර සම්පත් කොල්ලකෑම දිගින් දිගටම සිදුවන බවත් තමන් ධීවර ඇමැති ධුරයේ කටයුතු ආරම්භ කළ දා සිට මෙම ඉන්දීය ආක්‍රමණය නතර කිරීමට උත්සාහ ගත්ත ද මේ දක්වා ඉන්දීය පාර්ශ්වයෙන් සාධාරණ ප්‍රතිචාරයක් නොලැබුණු බව ද කීය.
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පෙරේදා (27) පැවැති ලංකා සමාජ ආරක්ෂක මණ්ඩලය සංවිධානය කළ උත්සවයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඇමැති දේවානන්දා මහතා මේ බව පැවැසීය.
තමා ඉන්දීය මහකොමසාරිස්වරයා සමඟ ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු තීරය ආක්‍රමණය පිළිබඳවත් බලය බෙදීම පිළිබඳවත් බලය ව්‍යාප්ත කිරීම පිළිබඳවත් පසුගියදා සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා කීය.
තමන් දීර්ඝ කාලයක සිට පවසන මෙම කරුණු දැන් යථාර්ථයක් වී ඇති බවත් ඒ පිළිබඳ විරුද්ධ මත දැරූ අය ද දැන් තමන්ගේ මතයට පැමිණ තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම මතය තුළ අතීතයේ සිටම අප දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සිටියා නම් අද මෙවැනි තත්ත්වයක් අපගේ ධීවර ප්‍රජාවට අත්නොවන බව ද අමාත්‍යවරයා කීය.
ඉදිරියේදී රටේ දේශපාලන තත්ත්වය හා රටේ නායකත්වයට පත්වන්නේ කවුද යන්න පිළිබඳවත් තමන් මහකොමසාරිස්වරයා සමඟ කරුණු හුවමාරු කර ගත් බව ද ඇමැති දේවානන්දා මහතා මෙහිදී පැවැසීය.
මෑතකදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම ඉන්දියාවේ සිදු කළ සංචාරයේදී ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලු පිළිබඳ කිසිඳු සාකච්ඡාවක් සිදු කර නැති බව ද කී ඇමැතිවරයා පෙන්වා දුන්නේ තමා ඉන්දීය මහකොමසාරිස්වරයා හමු වූ අවස්ථාවේදී ඉන්දීය ධීවරයන් අප රටේ ධීවරයන්ගේ සම්පත් කොල්ලකන ආකාරය පෙන්වාදුන් බවයි. ධීවර ප්‍රජාව විඳින දුක්ගැහැට පිළිබඳ මහකොමසාරිස්වරයා දැනුම්වත් කළ බව ද ඇමැතිවරයා පැවැසීය. නමුත් තවමත් මෙම ගැටලුව කෙරෙහි කිසිඳු සාධාරණ විසඳුමක් ලැබී නැති අතර මෙම තත්ත්වය තවදුරටත් සිදු වන්නේ නම් තමන් ධීවර ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වී ධීවරයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන බව ද ඇමැතිවරයා පැවැසීය.
ඉන්දීය ධීවරයන්ට ලංකාවේදී නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමිල්නාඩුවේ පැවැත්වෙන උද්ඝෝෂණ පිළිබඳ අදහස් දැක්වූ ඇමැතිවරයා ‘උද්ඝෝෂණ කිරීම ඕනෑම කෙනකුගේ අයිතිවාසිකමක්, නමුත් මෙරට මුහුදු සම්පත් නීති විරෝධී අයුරින් නෙළා ගැනීමට කටයුතු කළහොත් අත්අඩංගුවට ගෙන අවවාද කර ඇප දෙන අවස්ථා පවතිනවා. නමුත් අවස්ථා ගණනාවක්ම එම නීති විරෝධී කටයුතු සිදු වුවහොත් අත්අඩංගුවට ගෙන නීතියෙන් දඬුවම් කිරීමට පියවර ගත හැකි නීති අප රටේ පවතිනවා. මෙසේ පැමිණෙන ඉන්දීය යාත්‍රාවල සිටින යාත්‍රා නියමුවන්ට හා කාන්තාවන්ට ලබා දී ඇති දඬුවම් ඉන්දීය ජනතාවට මේ වන විට දැනී තිබෙනවා. දැන්වත් ඔවුන් අපේ ධීවරයන්ගේ මත්ස්‍ය සම්පත් නෙළා ගැනීමෙන් අපේ ධීවරයන් අපහසුතාවට ලක් කිරීම නතර කළ යුතුයි’ යැයි ද කීවේය.