රථ වාහන නඩුවක් සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් රියැදුරු බලපත්‍රයක් නැවත හිමිකරු වෙත ලබා දීමට හා නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 10 000 අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ඉත්තෑපාන පොලිසියේ, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ රාජකාරි වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා එලෙස වැඩ තහනම් කර ඇත්තේ පොලිස් කොස්තාපල් (36168) එස්. එම්. හේවගේ හා (102636) එම්. ඒ. ඊ. ටී. මඩුගල්ල යන දෙදෙනාගේය.
සැකකාර මඩුගල්ල නිලධාරියා, සැකකාර හේවගේ නිලධාරියා සමඟ රථවාහන රාජකාරියේ යෙදී සිටියදී රථ වාහන නඩුවක් සම්බන්ධයෙන් භාරයට ගත් රියැදුරු බලපත්‍රයක් නැවත හිමිකරු වෙත ලබා දීමට හා නීති මඟින් කටයුතු නොකර සිටීමට රුපියල් 10 000ක මුදලක් ඉල්ලා පොලිස් කොස්තාපල් හේවගේ නිලධාරියාට එම මුදල ලබා ගැනීමට අනුබලදීමේ චෝදනාවට හා හේවගේ නිලධාරියා එම මුදල ලබා ගැනීමේ චෝදනාව මත ඉකුත් 26 වැනි දින ඉත්තෑපාන පොලිසි ස්ථානයේ රථවාහන අංශයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ඉකුත් (26) වැනි දින අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 12 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
එම නිලධාරීන් දෙදෙනාගේ විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් පෙරේදා (27) සිට වැඩ තහනම් කළ බව ද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.