වැලිවේරිය, වෑබඩ ප්රදේශයේදී මහමඟ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙලේ බැඳි රු. පනස්දහසක් (50,000) පමණ වටිනා රන් මාලයක් යතුරුපැදියකින් පැමිණ කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුව, ගම්පහ අතිරේක මහේස්ත්රාත් සහනා පාතිමා හග්නා මහත්මිය විසින් රු. ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඉකුත් දින මුදාහැරියාය.
මෙම සැකකරුව හඳුනාගැනීමේ පෙරට්ටුවකදී පැමිණිලි පාර්ශ්වය විසින් හඳුනාගෙන නොතිබිණි.
මෙලෙස කොල්ලකන ලද රන් මාලය හෙට්ටිවීදිය ප්රදේශයේ රන් භාණ්ඩ වෙළෙඳසලකට විකුණා උණු කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබිණි. මීට ඉහතදී එම රන් මාලය රු. හතළිස්දහසකට (40,000) මිලදීගෙන තිබූ බව කියන පුද්ගලයකුද අධිකරණය මඟින් ඇප මත මුදා හැර ඇත.
තවද එකී රන් මාලය එහි හිමිකාරියට රු. පනස්දහසක බැඳුම්කරයක් මත මුදා හරින ලෙසට නියම කළ මහේස්ත්රාත්වරිය, ඒ සඳහා යොදා ගෙන තිබූ යතුරුපැදිය රු. හාරලක්ෂ අසූදහසක (480,000) බැඳුම්කරයක් මත එහි ලියාපදිංචි අයිතිකරුට මුදාහරින ලෙසටද නියෝග කළාය. කේ. දර්ශන නමැති අයකු මෙලෙස ඇප මත මුදාහැර තිබේ.
වැලිවේරිය පොලිසියේ පොලිස් පරීක්ෂක ගාමිණී කුමාරසිංහ හා උ.පො.ප ජයලත් යන මහත්වරු පැමිණිල්ල මෙහෙයවූහ.