මහියංගණ, දඹාන ආදිවාසී ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද නව වාරි පහසුකම් පද්ධතියක් විවෘත කිරීම ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
දඹාන ගම්මානයේ අක්කර පහළොවක පමණ වගා වපසරියක් සඳහා ජල පහසුකම් ලබා දීම පිණිස මෙම වාරි ව්‍යාපෘතිය ඉදිකර ඇති අතර ඒ යටතේ කෘෂි ළිඳක් ඉදිකර එහි ජලය සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන විදුලි මෝටරයක ආධාරයෙන් නළ පද්ධතියක් ඔස්සේ වගා බිම වෙත සැපයීම සිදු වේ. ඉකුත් 2023 වසරේ ලෝක ආදිවාසී දිනයට සමගාමීව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් දඹාන ආදීවාසී ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් 1,435,766ක වියදමින් මෙම වාරි ව්‍යාපෘතිය ඉදිකර ඇත. ඊට අමතරව එම සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රතිලාභී පවුල් 100කට ගෙවතු සංවර්ධනය කිරීම සඳහා එළවළු පැළ හා බීජ ලබා දීම, දියර පොහොර බෙදා දීම, කෘෂි උපකරණ කට්ටල බෙදා දීම, කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය උපකරණ කට්ටල බෙදා දීම, පලතුරු වගාව ව්‍යාප්ත කිරීම සඳහා එක් පවුලකට පැළ 25 බැගින් අඹ පැළ 2,500ක් බෙදා දීම හා මී මැසි පාලනය සඳහා මී මැස්සන් රැඳෙන කිතුල් කඳන් 100ක් ලබා දීම සිදු කර තිබේ. සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් 3,674,641කි.
මෙම ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් නිමේෂා ප්‍රියංගි වනසිංහ මහත්මිය හා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන, නියෝජ්‍ය අධ්යක්ෂ කණිෂ්ක කහපොළ, මහියංගණය ප්‍රාදේශීය ලේකම් සංජය වීරසිංහ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ආදීවාසීහු පිරිසක් ද එක්ව සිටියහ.