වසා දැමීමට ගොස් ජනතා ඉල්ලීම මත නැවත ප්‍රතිසංස්කරණය කළ ඇතාකඩ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය නැවත ජනතා අයිතියට පත් කිරීම උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (27) දින සිදු කෙරිණි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් රෝහල් සහ ප්‍රාථමික වෛද්‍ය සත්කාර මධ්‍යස්ථානයන්හි පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ මෙහි නවීකරණ කටයුතු සිදු කෙරිණි. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුව මඟින් රුපියල් ලක්ෂ හාරසිය හයක (406) මූල්‍යමය ප්‍රතිපාදන ලබා දී තිබුණි.
මේ තුළින් මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ හා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පවුල් 5000ට වැඩි ප්‍රමාණයක් සඳහා සෞඛ්‍ය පහසුකම් ලබා දීමට හැකියාව ඇත.
මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කේ.එච්. නන්දසේන, උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය සුසිල් ගුණරත්න, හිටපු පළාත් සභා මන්ත්‍රි කල්‍යාණි කරලියද්ද, පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සී. එම්. කේ. වන්නිනායක, පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නිමල් ආරියරත්න ඇතුළු නිලධාරීහු රැසක් සහභාගී වූහ.