දකුණු පළාත් සභාව මඟින් පාලනය වන පාසල් සඳහා ගුරුවරුන් 1028 දෙනෙකු කඩිනමින් බඳවා ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ මහතා ඊයේ (27) මාධ්‍යයට අදහස් දක්වමින් පැවැසීය.
ගුරුවරුන් බඳවාගැනීම සඳහා පැවැති උපාධිධාරී ගුරු විභාගයේ වැඩිම ලකුණු ලබා ගත් උපධිධාරීන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට කටයුතු කරන බවත් ඒ අනුව ගුරු විභාගයේ වැඩිම ලකුණු ලබා ගත් උපාධිධාරීන් 3080 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට කටයුතු කරන බව ද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය. ගුරු පුරප්පාඩු වී ඇති විෂයයන් අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙම ගුරුවරුන් ඉදිරියේ බඳවා ගැනීමට කටයුතු කරන බව ද ආණ්ඩුකාරවරයා පැවැසීය.
මේ පිළිබඳ අදහස් දක්වමින් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මෙසේ ද පැවැසුවේය. “රජයේ සේවයේ නියුතු උපාධිධාරී සංවර්ධන නිලධාරීන් පිරිසක් විභාගයක් නොපවත්වා ගුරුවරුන් ලෙස බඳවා ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව තහනම් නියෝගයක් පනවා තිබුණා. එම තහනම ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ඉවත් කළා. ඒ නිසා දකුණු පළාත් සභාවට මෙම ගුරුවරු බඳවාගැනීමට හැකිවෙලා තියෙනවා. ගුරුවරුන් බඳවාගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කොට තියෙනවා. ගුරු විභාගය සඳහා අපේක්ෂකයින් 10500 දෙනෙකු ඉදිරිපත් වුණා. ගුරුවරුන් බඳවා ගැනීම තුළින් දකුණු පළාතේ ගුරු හිඟයට විසඳුම් ලැබෙනවා.” දැනට විශ්‍රාම ගොස් සිටින ගුරුවරුන්ගේ පුරප්පාඩුත් සමඟ ඉදිරියේ දී ගුරුවරු 1500ක් පමණ බඳවාගැනීමට හැකිවන බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය.