මාලිගාවත්ත දුම්රිය අංගණයේ ගාල් කර තිබූ දුම්රිය මැදිරිවල විදුලි පංකා හොර රහසේ ගලවමින් සිටි දුම්රිය දෙපාර්තමේන්තු සේවකයකු එසේ ගලවා තිබූ විදුලි පංකා දෙකක් ද සමඟින් දුම්රිය ආරක්ෂක අංශ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කලක සිට දුම්රිය මැදිරිවල විදුලි පංකා ඇතුළු උපකරණ අස්ථානගත වීම සමඟ දුම්රිය ආරක්ෂක අංශ නිලධාරින් රහසිගතව යොදවා තිබූ ආරක්ෂිත වැඩපිළිවෙළක් අනුව මෙම සොරකම අල්ලා ගැනීමට හැකිව තිබේ.
මහව කුඩාපළුගස්වැව ප්‍රදේශයේ පදිංචි මෙම සේවකයා බොහෝ කලක සිට මෙසේ සොරකම්වල නිරතව සිටි අයෙකු බව හෙළි වී තිබේ.
දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත සහකාර දුම්රිය ආරක්ෂක අධිකාරි ගාමිණී දිසානායක මහතාගේ අධීක්ෂණයෙන් මාලිගාවත්ත කාර්යභාර නිලධාරී නන්දන පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් 90850 එස්.ටී. ගමගේ ආරක්ෂක 91244 පී.ඩී. රොෂාන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
සැකකරු සමඟ විදුලි පංකා දෙමටගොඩ පොලිසිය වෙත භාර දී තිබේ.