කැනඩාවේ රැකියා දෙන බව පවසා රුපියල් ලක්ෂ 65කට අධික මුදලක් වංචා කර වසර 8 කට අධික කාලයක් විදේශගතව සැඟව සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පාණදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තියක් බව පොලිසිය පවසයි.
සැකකාරිය 2016 වර්ෂයේ දී පාණදුර ප්රදේශයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් එම ප්රදේශයේම ප්රසිද්ධ පාසලක මේ වන විට මියගොස් සිටින ගුරුවරියක් සමඟ එක්ව මෙම වංචාව සිදුකර තිබූ බව පොලිසිය සඳහන් කරයි.
සැකකාරියන්ගේ වංචාවට හසුවූ වත්තල, පාණදුර කොළඹ හා මාතර ආදී ප්රදේශවල පුද්ගලයන් රුපියල් ලක්ෂ 12 , 13, 15 හා 25 ආදි මුදල් ප්රමාණයන් විදේශගත වීමේ බලාපොරොත්තුවෙන් ලබා දී තිබූ බවත් පාණදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ලද පැමිණිලි හතරෙන් සනාථ වන බව පොලිස් නිලධාරියකු පැවසීය. එම වර්ෂයේ අග භාගයේ දී හිටි හැටියේම කැනඩාව කරා පලා ගිය සැකකාරිය මෙම මස 13 වැනිදා මෙරටට පැමිණ ඇති බවට ලද තොරතුරකට අනුව මාලබේ ප්රදේශයේදී පෙරේදා (27) රාත්රී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරියට එරෙහිව විදේශ ගමන් තහනමක්ද ලබා ගෙන තිබූ බව පොලිස් නිලධාරියකු පැවසීය. සැකකාරිය මේ ආකාරයෙන් රැකියා ලබා දෙන බව පවසා තවත් පුද්ගලයන්ගෙන් මුදල් වංචා කර ඇත්දැයි සොයා බැලීම සඳහා දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම පොලිස් පණිවිඩ නිකුත් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
50 හැවිරිදි සැකකාරිය පාණදුර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.