Thursday, May 15, 2025
Home » මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවා ඩිජිටල් වෙයි

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවා ඩිජිටල් වෙයි

සඳුදා සිට සේවා කලින් වෙන් කරවාගත් දිනයට-වේලාවට

by mahesh
March 1, 2024 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට ලබන සඳුදා (04) සිට දිනයක් හා වේලාවක් කලින් වෙන් කර ගැනීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඊයේ (29) පැවසුවේය.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍ය හමුව පැවැත්විණි.

ඒ සඳහා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://dmtappointments.dmt.gov.lk/ වෙත පිවිසෙන ලෙස හෝ ස්වයංක්‍රිය දුරකතන සේවාව වන 011-2117116 ඔස්සේ සම්බන්ධ වන ලෙස ජනතාවට දැනුම් දෙන බව ද ඔහු කීවේය.

කොළඹින් පිටත සිට අමතන පුද්ගලයන් සාමාන්‍ය අංකය වන 2117116 සමඟ ප්‍රාදේශීය කේතය ඇතුළත් කළ යුතු වේ. 011-2117116 යන ස්වයංක්‍රිය දුරකතනයට අමතා අවශ්‍ය සේවා තේරාගත් පසු දුරකතන අංකය සහ හැඳුනුම්පත් අංකය ඇතුළත් කළ පසු සේවාව ගැනීම සඳහා දිනය, වේලාව සහ ස්ථානය කෙටි පණිවිඩයක් ලෙස ලැබෙන බව හෙතෙම කීවේය. දෙපාර්තමේන්තුවට සේවා සඳහා පැමිණෙන ජනතාවගේ කාලය ඉතිරි කර ගැනීමටත් ප්‍රධාන කාර්යාලයට සහ අනෙකුත් ශාඛාවලට පැමිණෙන පුද්ගලයන් සංඛ්‍යාව අඩු කිරීමටත් මෙම තීරණය ගෙන ඇත.

එහිදී අදහස් පළ කරමින් ඒ මහතා මෙසේ ද කීවේය.

මාර්තු 4 වැනිදා සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයිති සියලු කාර්යයන් ඉටු කර ගැනීමට කාර්යාලවලට පැමිණෙන සියලු සේවාලාභීන් අනිවාර්යයෙන්ම තමාට අදාළ වේලාවක් ඒ අදාළ දිනය තුළ වෙන් කරගෙන අදාළ කාර්ය සඳහා පැමිණීම අනිවාර්යයයි. මේකට ස්වයංක්‍රිය දුරකතන අංකයක් අප හඳුන්වා දීලා තියෙනවා. මේ දුරකතන අංකය වෙන්නේ 2 117 116. තමන්ට අවශ්‍ය සේවාව ලබා ගැනීම තෝරා ගත්තාට පස්සේ අවසානයේදී තමන්ගේ දුරකතන අංකය සහ හැඳුනුම්පත් අංකය තෝරාගන්න තියෙනවා. එය ඇතුළත් කරාම ඔබතුමාලට සෑම කෙනකුටම අයදුම්කරුගේ තියෙන දුරකතන අංකයට කෙටි පණිවිඩයක් ලැබෙනවා අදාළ කාර්ය සඳහා පැමිණිය යුතු දිනය වෙලාව සහ ස්ථානය සඳහන් වෙලා. ඊට අමතරව අප වෙබ් අඩවියක් හඳුන්වාදීලා තියෙනවා www.dmtappointments.dmt.gov.lk කියලා. වෙබ් අඩවිය හරහාත් එම පහසුකම ලබා ගැනීමේ හැකියාව අප ලබා දීලා තියෙනවා යැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ (NTMI) සභාපති දර්ශන අබේරත්න මහතා මෙහිදී පැවසුවේ විද්‍යුත් නාලිකා පද්ධතිය හරහා වෛද්‍ය පරීක්ෂණ සඳහා වෙන වෙනම දින සහ වේලාවන් ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි. රියැදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය සහතික ලබා ගැනීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත පැමිණෙන පුද්ගලයන් සඳුදා සිට දිනයක් සහ වේලාවක් ලබාගත යුතු බව ද කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT