Thursday, May 15, 2025
Home » නිරංජලා සරෝජනීට ගෞරව ප්‍රණාමයක්

නිරංජලා සරෝජනීට ගෞරව ප්‍රණාමයක්

by mahesh
March 1, 2024 1:00 am 0 comment

නිශ්ශංක විජේරත්න, නෙත්මි පූජනී රත්නායක, නුවන්, උදිත ගුණවර්ධන, එම්. තාරික්, ආනන්ද විජේතිලක මාවතගම

මනුෂ්‍යත්වය උදෙසා ගෞරව ප්‍රණාම සංවිධානයේ මෙහෙයවීමෙන් ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජනී හට ජනරංජනී කලාකීර්ති ශ්‍රී දේශමාන්‍ය යන සම්භාවනීය ජාතික ගෞරව නාමය සහිත සන්නස්පත්‍රය පිරිනමන ලදි. ලාංකේය සමාජය තුළ සිදු කරනු ලබන සංස්කෘතික සමාජීය හා ආගමික සහජීවනය සම්බන්ධතාවය අගයනු වස් මෙම ගෞරව නාමය පිරිනැමිණි. බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී අමරපුර ශ්‍රී සද්ධම්මවංශ නිකායේ අනුනායක පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ නීතිඥ සිසිර ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි. මේ සඳහා කලාකරුවන් අතුළු අමුත්තෝ රැසක් සහභාගි වූහ.


විහඟ ප්‍රේමය HBO max ඔස්සේ

අන්තර්ජාතික සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර විසින් තිර රචනය කොට අධ්‍යක්‍ෂණය කළ විහඟ ප්‍රේමය හෙවත් peacockLament සිනමා පටය ලෝකයේ කීර්තිනාමයක් දිනා ගත් (HBO නාළිකාව සිය HOB max ඔස්සේ එළඹෙන මාර්තු 01වැනිදා සිට පෝලන්තය, රුමේනියාව, හංගේරියාව බල්ගේරියාව ඇතුළු නැඟෙනහිර යුරෝපීය රටවල් ඉලක්ක කොට ගෙන ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත. අ‍ෙමරිකාවේ ප්‍රසිද්ධ වන වෝනර් බ්‍රදර්ස් (warner brothers)ව්‍යාපාර සමූහයට අයත් HBo ආයතනය සිය මාධ්‍ය ජාලයේ ප්‍රදර්ශනයට තෝරාගත් ප්‍රථම ශ්‍රී ලාංකේය චිත්‍රපටය මෙයයි. මෙරට සිදුවන බිලිඳු දරුවන් විදේශිකයන්ට අලෙවි කිරීමේ ජාවාරම පදනම් කරගෙන මේ සිනමාපටය නිර්මාණය වී තිබේ. ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර සිදුවුණු ප්‍රථම නිල නිෂ්පාදනය ද මෙය වේ. අමිල් අබේසුන්දර සහ සංජීව පුෂ්පකුමාර නිෂ්පාදනයක් වන මෙය ෆිල්ග්‍රීම්ස් නිෂ්පාදන සමාගම වෙනුවෙන් අන්ද්‍රෙයා මැග්නානි සහ කියාරා බාබෝ ද ඉතාලි නිෂ්පාදකයින් ලෙස කටයුතු කරති.


ගරු කථානායකතුමනි 01දා

උදයසිරි වික්‍රමරත්න රචනා කොට අධ්‍යක්‍ෂණය කළ ‘ගරු කථානායකතුමනි’ එළඹෙන මාර්තු 01වැනිදා සවස වයඹ විශ්ව විද්‍යාලය ශ්‍රවණාගාරයේදී වේදිකාගත කෙරේ.


සුසර ගී රාවේ

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ආදි ශිෂ්‍ය සංගමයේ අරලිය දශක කණ්ඩායම සංවිධානය කරන ‘සුසර ගී රාවේ’ සංගීත ප්‍රසංගය එළඹෙන 02වැනිදා සවස මහරගම යොවුන් රඟහලේදී පැවැත්වේ. ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීත අධ්‍යක්ෂණයට රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා, අමල් පෙරේරා, ඉෂාක් බෙක් ක්‍රිස්ටිනා බණ්ඩාර සහ සහන් චාමිකර යන ගායක ගායිකාවන් එදින ගීතවත් වෙති. කථනය ප්‍රවීණ මාධ්‍යවේදී සමන් ආතාවුද හෙට්ටිගෙනි.


සාධි 06දා

සරසවි රණතිසර සම්මානයෙන් පිදුම් ලද සම්මානනීය ප්‍රවීණ සිනමා නිළි සුවිනීතා වීරසිංහ චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසේ. ඇගේ සිනමා දිවි මඟේ දශක හයක වර්ෂ පූර්ණය සමරමින් අධ්‍යක්ෂණ කාර්යයට පිවිසෙන ප්‍රථම අධ්‍යක්ෂණය ‘සාධි’ එළඹෙන 6 වැනි දින සුබ මොහොතින් ඇරඹේ. කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වෙන සුබ මුහුර්තියෙන් මෙම අධ්‍යක්ෂණ කාර්ය ආරම්භ වේ.

සුදු සඳේ කළුවලා තුළින් ඇරඹි කලා ගමන දශක පහක් පුරා ප්‍රේක්ෂක සිත් සතන් ඇගේ රංගනයෙන් සනහාලන්නට හැකි විය. අනූපමා, වැලිකතර, දෙලොවක් අතර, හුලවාලී යන සිනමාපට ප්‍රේක්ෂකයන් සිත් ඇද බැඳ තැබීමට සමත් විය. සිනමා දිවි ගමනත් සමඟ ඇගේ ජීවිත කතාව අලළා ලියවුණු ග්‍රන්ථය පසුගිය වසරේ එළිදැක්වීම ද සිදු විය.


මතක අතීතය දිගේ ආ කැලුම් ජයසිංහ

ඔහු, සංගීත කලාවට යොමුවන්නේ පාසල් වියේදීමය. නිවසේ පැවති කලා වටපිටාවක වැඩෙන ඔහු, පාසලේ දී සංගීතයට යොමුවන්නේ නිතැතිනි. ඉන් අනතුරුව ද පැවැත්වෙන සංගීත ප්‍රසංගවලට සහභාගිව තම හැකියාව පෝෂණය කිරීමට කැපවේ. කැලුම් ජයසිංහ වන මේ යෞවනයා, සංගීත විෂය ගැන න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව හැදෑරීමට 1991 වසරේදී බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය හා සම්බන්ධ වේ. එහිදී, ඔහු යොවුන් ගී කණ්ඩායමට සම්බන්ධව, එහි ඩ්‍රම්ස් වාදකයා විය. අනතුරුව, එකී කණ්ඩායම සමඟ රට පුරා සංගීත ප්‍රසංගවලට සහභාගිව ඇත. එහිදී ඩ්‍රම්ස් වාදකයෙකු ලෙස ප්‍රවීණ ගායන ශිල්පීන් රැසකට සංගීතය සැපයීය. කැලුම්, ලලිත කලාවේදී තුන් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීය. ඒ විශාරද නිහාල් ගම්හේවා වෙතිනි.

කැලුම් ජයසිංහ, ගායනයට දක්ෂතා දක්වන්නෙකි. තම කුලුඳුල් ගීත ඇල්බමය, “සඳ” නමින් නිකුත් කළේය. එහි ගීත 16ක් විය. ඒ සඳහා “කඳාන සොනික් ඇඩ්වර්ටයිසින් ආයතනය” අනුග්‍රහය දැක්වීය. රෝහණ විරසිංහ, කසුන් කල්හාර, මහින්ද බණ්ඩාර, නවරත්න ගමගේ, කරුණාරත්න විජේවර්ධන, නිහාල් ගම්හේවා සංගීතයෙන් ද යමුනා මාලනි පෙරේරා, රවි සිරිවර්ධන, යසනාත් ධම්මික බණ්ඩාර පද රචනයෙන් ද “සඳ”ට දායක වූහ. මේ ගීත ඇල්බමයට කැලුම්ගේ ගී පද හා තනු ද ඇතුළත්ය.

ඔහු ‘සඳ කිරණක් සේ’, ‘ සඳ පායලා ඇති’, ‘සාඩම්බර නෙතු’, ‘සිතින් සිතකට’ යනුවෙන් චන්දන ලියනාරච්චි ඇතුළු ගායන ශිල්පීන් කිහිප දෙනෙක් සඳහා ද ගීත නිර්මාණය කර ඇත.

රසිකයන්ගේ සහ හිතමිත්‍රාදීන්ගේ ඉල්ලීම පරිදි කැලුම් ජයසිංහ තම ‘මතක අතීතය’ ගී ප්‍රසංගය සඳහා මේ දිනවල සූදානම් වේ. එය මාර්තු මස 02 වැනි දින සවස 6.30ට පිළිමතලාවේ, ධීරානන්ද විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ. මේ සඳහා සංගීතයෙන් Feed Back ද , ආරාධිත ගායනයෙන් චන්දන ලියනාරච්චි ද දායක වෙති. යුග ගායනයෙන් දිල්ශානි වීරසිංහ ද, ගායන සහායෙන් චන්දන ප්‍රසාද් ද සහාය වෙති. කථනය සුමිත් ගමගේගෙනි.

අද ඇසෙන ඇතැම් හරසුන් ගී නිසා, සංගීත කලාව ගැන යම් කලකිරීමක් ඇතිවුව ද එය අත්හැරිය නොහැකිව සිරුරේ කොටසක් වී ඇති බැව් කැලුම් ජයසිංහ කීය. ඔහු දැනට, තමා ලබාගත් දැනුම ළමයින්ට බෙදාදෙමින් සංගීත පන්ති පවත්වාගෙන යමින් නව නිර්මාණ කිහිපයක් කිරීමටත්, music Video කීපයක් කිරීමට ද සූදානමින් සිටින බවත් අවසාන වශයෙන් කැලුම් ජයසිංහ පැවසීය.


කඩතුරාව යළිත් කරළියට

කුමාර. ඩී. රාහුබද්ධ (කීර්ති ) මහතාගේ නාට්‍ය නිර්මාණයක් වන ‘කඩතුරාව’ වේදිකා නාට්‍ය නිර්මාණය නැවතත් කරළියට ගෙන ඒම පසුගියදා (26) කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් කොට්ටාව නියඳගල ග්‍රාම සංවර්ධන සේවා පියස ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. ඒ සඳහා රංගන දායකත්වය ලබා දෙන්නේ උදය කුමාරි, ධර්මපාල සුදුමල්කන්ද, උදය කුමාර ඇල්පිටිය, සුනිල් ජයලත්, ප්‍රියන්ජිත් බණ්ඩාර සහ නිමල් රත්නායක යන රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් විසිනි. මෙහි ගී පද නිමල් රත්නායක සහ කුමාර. ඩී. රාහුබද්ධ යන මහත්වරුන්ගෙන් වන අතර, සංගීත අධ්‍යක්ෂණය අතුල ලියනාරච්චි මහතාගෙනි.


ට්‍රැෆික් සාජන්ට්

සැන්ඩෝ හැරිස්ගේ ට්‍රැෆික් සාජන්ට් නාට්‍ය මහරගම අපේක්ෂා රෝහලට ආධාර පිණිස අනිද්දා ( 3) සවස 3.30 සහ 6.30ට මරදාන එල්ෆින්ස්ටන්හිදී රඟදැක්වේ.


ඔෂීන් හඬ අැගයේ

රටක් හඳුනන ඔෂීන් චරිතයට සිංහල හඬ මුසු කළ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක සහ ජනප්‍රිය හඬ කැවීමේ ශිල්පිනියක වන රසාදරී පීරිස් මහත්මිය ඔෂීන් චරිතයට දක්ෂ ලෙස හඬ මුසු කිරීම අගැයීම සඳහා මෙම සම්මානය පසුගියදා ප්‍රදානය කෙරුණි. ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනය විසින් මෙම සම්මාන ප්‍රදානය සංවිධානය කර තිබුණි.


රතු මඟුල් කපුවා

මාතලේ වෘත්තිකයන්ගේ කලා සංසදය විසින් සංවිධානය කරන නාට්‍යමය ප්‍රාසාංගික අත්දැකීම අඛිල සපුමල්ගේ නාට්‍ය නිර්මාණය ‘රතු මඟුල් කපුවා’ මාර්තු මස 03 වන ඉරිදා දින දර්ශන වාර දෙකක් සමඟින් සවස 3.30 සහ 6.30ට මාතලේ හොටෙල් පාසල් ශ්‍රවණාගාරයේ දී වේදිකාගත වේ. ජගත් චමිල, මේනක රාජපක්ෂ, මල්කාන්ති ජයසිංහ, තිලාන් වර්ණජිත්,ටෝනි කෙවලියාගල සහ ඉමායා සෙව්වන්දි යන ජනප්‍රිය නළු නිළියෝ මෙම නිර්මාණයට දායක වෙති.


අත්හැරුණු අඹ යහළුවා

ආනන්ද ගමගේ දැයෙන් සමුගෙන තුන් මසක් ගෙවීම නිමිති කරගෙන පවත්වන මතක සැමරුම අද (01)දා සවස 3.00ට මහවැලි කේන්ද්‍රයේදී. දෙසුම්, මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, විදර්ශන කන්නන්ගරගෙනි. මෙහිදී ආනන්ද ගමගේ, ඊ. එම්. ඩී උපාලි, ප්‍රවීණ ගායක ගායිකාවන් 30 දෙනකු හා එක්ව නිර්මාණය කළ ‘මම මලක් වෙලා’ සංයුක්ත තැටිය හා කෘතිය එළිදැක්වේ.


භානුකගේ මව් සෙනෙහස

කුරුණෑගල කුමර විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන භානුක නිම්සර සිසුවා විසින් නිර්මාණය කළ ‘මව් සෙනෙහස’ කෙටි චිත්‍රපටිය මාර්තු 01 අද දින කුරුණෑගල තරුණ බෞද්ධ සංගමයේ රංග ශාලාවේදී තිර ගත කෙරේ.

ප්‍රවීණ රංගන ශිල්පී රිචඩ් වීරක්කොඩි සහ චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ තිස්ස විජේකෝන් ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වේ.


ලන්ඩන් කවි

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ආචාර්ය නන්දා මාලනිය වෙනුවෙන් ලියවුණු අනුර හෑගොඩ සංස්කරණය කළ ‘ලන්ඩන් කවි උපහාර කලාපය’ මාර්තු මස 07වැනිදා සවස 03.00ට කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වේ. එදින මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ ප්‍රවීණ කිවියර මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසිනි. එල්ලාවල ආනන්ද කුලතිලක සහ කඩවත තේජා ගම්මනගේ හිටිවන කවි සංවාදයක් පැවැත්වෙන අතර කථනය කැළුම් ශ්‍රීමාල්ගෙනි. එම ග්‍රන්ථය සුරස ප්‍රකාශනයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT