Home » ආදරයට පුළුවන් ගොඩක් දේවල් කරන්න

ආදරයට පුළුවන් ගොඩක් දේවල් කරන්න

අධ්‍යක්ෂ අශෝක අතාවුදහෙට්ටි

by mahesh
March 1, 2024 1:00 am 0 comment

ශ්‍යාමා සමරසිංහ

මින්නු දැන් සිනමා තිරයේ දිගහැරේ. පිළිකා රෝගීන්ගේ කතාවක් පසුබිම් කොට ගෙන නිර්මාණය වුණු මෙහි අධ්‍යක්ෂවරයා වන්නේ අශෝක අතාවුදහෙට්ටි මහතායි. නිෂ්පාදනය රේණුකා බාලසූරිය හා සුනිල් ටී. ප්‍රනාන්දුය. මින්නු අධ්‍යක්ෂ අශෝක අතාවුදහෙට්ටි මහතා සමඟ අප කළ සාකච්ඡාවකි මේ.

ඔබේ සිනමා ආගමනය සිදු වන්නේ කොහොමද?

මම කලාවට ආදරය කරන්නේ මගේ පියා නිසයි. මගේ පියා ඒ. එච්. පියසේන. ඔහු සංගීත සහ නාට්‍ය ගුරුවරයෙක්. තාත්තා දක්ෂ සර්පිනා හා තබ්ලා වාදකයෙක්. ඒ කාලයේ ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ නූර්ති ගී ශිල්පියෙක්. 1950- 60 කාලයේ මගේ අයියටයි, මටයි තාත්තගේ මේ කලා වැඩ නිතර දෙවේලේ ඇස ගැටුණා. ඒ වගේම තාත්තගේ යාළු කලා ශිල්පීන්ද නිතරම දැක්කා, ආශ්‍රය කළා. මගේ අයියා මට වඩා අවුරුදු 03ක් වැඩිමල්. මට වයස අවුරුදු 14 කාලෙදී අපට ඉස්කෝලේ සිනමා කෘති පෙන්නුවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් සම්මන්ත්‍රණත් තිබුණා. මට මතකයි මම ඉස්කෝලෙන් කියලා ගියේ පතී අයියගේ අහස් ගව්ව බලන්න. ඒ වගේම පතී අයියා ඉස්කෝලෙටත් ඇවිත් සම්මන්ත්‍රණ ආදිය කළා. පතී අයියා නිසා මට සිනමාව ගැන පුදුමාකාර ඇල්මක් ඇති වුණා. පසුව මම ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ හඬ ශිල්පියෙක් විදිහට කටයුතු කළා. ළමා රංග පීඨයටත් ඇතුළත් වුණා. අශෝක තිලකරත්න අයියා හිටියා. ප්‍රභා රණතුංග වැනි අය සමඟ වැඩසටහන්වලටත් එකතු වුණා. නෙරංජලා, රෝහණ සිරිවර්ධන, ගීතා කාන්ති යන ශිල්පීන් එක්ක අයියා කටයුතු කරනකොට අපි පොඩි අය විදිහට කණ්ඩායමක් හිටියා. ඒ වගේම තාත්තත් එක්කත් පස්සෙන් යනවා. මම ඒ වන විට අහස් ගව්වෙන් පිස්සු හැදිලයි හිටියේ. ඉස්කෝලෙන් අයින් වෙලා මම ලෙස්ටර් මහතා හොයාගෙන ගියේ සංස්කරණ කටයුතු ඉගෙන ගන්නයි. 1977 දී මගේ පළමු සංස්කරණය කරුමක්කාරයෝ. තිස්ස අබේසේකරගේ කරුමක්කාරයෝහි මම සහය සංස්කරණ ශිල්පියා ලෙසට වැඩ කළා. එතැනින් තමයි මගේ සිනමා ආගමනය සිදු වන්නේ. ඊට පස්සේ අහසින් පොළොවට සිනමාපටයේ වේශ නිරූපණ ශිල්පියා ලෙසටත් කටයුතු කළා. අනතුරුව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දෙසතිය සඟරාවට සම්බන්ධ වෙලා ලේඛනයේත් නිරත වුණා. එහි අවුරුදු 04ක් එක දිගට වැඩ කළා. එහි ක්‍රීඩා පිටුව කළා. සරත් අමුණුගම මහතා මාධ්‍ය ගැන අපට හොඳ අවබෝධයක් ලබා දුන්නා. මම ඉතාලි සිනමා 04කට පමණ සම්බන්ධව සහය සංස්කරණ ශිල්පියෙකු ලෙස කටයුතු කරලා තියෙනවා. මේ විදිහට ආ සිනමා ම‍ඟේ මගේ ගුරුවරු දෙන්නා විදිහට මම සලකන්නේ පතී අයියයි, මගේ තාත්තයි. මම ධර්මසේන පතිරාජයන්නේ සහය අධ්‍යක්ෂ විදිහට වසර 15ක් පමණ වැඩ කළා. ඒ අතරතුර චන්ද්‍රන් රත්නම් මහතාගේ තමන් මෑණී කියන චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂ විදිහටත් වැඩ කළා. මට ඕනකම තිබුණේ මේ සිනමාව කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්නයි. සුගතපාල ද සිල්වාගේ හරිම බඩු හයක්හි දෙවැනි නිෂ්පාදනයට මම රංගනයෙන් දායක වුණා. බන්දුල විතානගේ මහතාගේ බෙකට් නමැති නාට්‍යයේත් රඟපෑවා. මම ගොඩක්ම කළේ සහය අධ්‍යක්ෂණ කටයුතුයි. මම බොහොම තෝරා බේරාගෙන වැඩ කරන්න හදපු කෙනෙක්.

ඔබ මින්නු සිනමාවට ගෙනාවේ ඇයි?

මින්නු මගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි. ‘කන්දක් සේමා’ කරන්න මම අපේ ප්‍රවීණ ලේඛිකාවක් වන සුමිත්‍රා රාහුබද්ධව හමු වෙනවා. ‘කන්දක් සේමා’ පොඩ්ඩක් පස්සට ගියා. ඒත් සුමිත්‍රා ළඟ තිර රචනයක් තිබුණා හැබැයි ඒක සිනමාවට ලියූ එකක් නෙවෙයි. ටෙලි නාට්‍යයකට ලියූවක්. මේක ඇතුළේ ලොකු කතාවක් තියෙන බව මට තේරුණා. මම යෝජනා කළා මේක සිනමාපටයකට ගෙනෙමු කියලා. ඒක තමයි මෙහි මුල් කතාව. ඊට පස්සේ මම ‘කන්දක් සේමා’ කළා.

මින්නු කතාවෙන් ඔබ කියන්න උත්සාහ කරන්නේ කුමක්ද?

සත්ත්වයින්ට විතරක් නෙවෙයි, ගහ කොළවලටත් ආදරය ඕනේ කියන කතාව තමයි මෙහි මූලිකම අදහස. ඒක මම දැඩි ලෙස විශ්වාස කරන දෙයක්. ජීවිතයේ මුල ආදරයයි. අපි අම්මව හඳුනා ගන්නේ ඇගේ ආදරයෙන්නේ. තාත්තා හඳුනා ගන්නෙත් එයාගේ ආදරයෙන්. මගේ ජීවිතයේ මම සියලුම දේවල් ඉගෙන ගත්තේ මගේ මවුපියන්ගෙන්. ලෝකෙට කරදරයක් නැතිව ජීවත් වෙන්න මනුස්සයෙක් වෙන්න කියලයි එයාලා අපට කිවුවේ. ඒ තුළ මම දැක්කේ ආදරේ. ඒ නිසා ජීවිතේ ජීවත් කරවන්න සමාජයත් එක්ක ජීවත් වෙද්දී ආදරේ තමයි පළමු දේ. ආදරෙත් එක්ක බොහෝ දේවල් කරන්න පුළුවන්.

මින්නු චිත්‍රපටයේ මින්නු චරිතයට වඩා අවශේෂ චරිත මූලික වන්නේ ඇයි?

මෙහි ප්‍රධාන චරිත 04ක් තියෙනවා. හර්ෂ, මේනකා, තිසරි සහ මින්නු මේ චරිත වටා තමයි මේ චිත්‍රපටය දිවෙන්නෙ. මෙහිදී මේනකාගේ චරිතය හැර අන් සියලු දෙනාම ජීවිතය ජීවත් කරවන්නයි උත්සාහ කරන්නේ. පිළිකාවක් කිවුවම මිනිස්සු බය වෙනවනේ. රෝගියෙකුගේ සිතුවිලිත් මම මෙයින් දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම මනුස්සයෙක් ජීවත් කරවන්න ආදරය අත්‍යවශ්‍යයි කියන කාරණයත් ඉස්මතු කරවන්න උත්සාහ කරනවා.

ආදරය දුන්නට මින්නු චරිතය අවසානය දුකක් ?

මින්නු අවසානයේදී මිය යනවා. මම නිෂ්පාදකගෙන් ඉල්ලීමක් කළා මෙය සංවේදී නිසා පෙන්වන එක එතරම් හොඳ නෑ කියලා. ඒ වගේම පිළිකාව බෝනස් එකක් කර ගත් චරිතයකුත් මේ ඇතුළේ තියෙනවා. ගෙදර ගියොත් විනාශ වෙනවට වඩා පිළිකාව හොඳයි කියන තැනයි ඒ චරිතය ඉන්නේ. නමුත්, බොහෝ අයට අවසානය ප්‍රශ්නයක් ඇති. නමුත් මම දැක්කේ ජීවිතය සහ එය ආරක්ෂා කර ගන්න කරන සටනක්.

මින්නුගේ භාෂාව ළමයෙකුට නොගැළපෙන බව ඇතමුන්ගේ අදහසක් ?

මේ වගේ කතා කරන ළමයි ඉන්නවා. එහෙම ළමයි මට රෝහලේදී හමු වෙලා තියෙනවා. මම පර්යේෂණයක් කළා. ඇතමුන් පිළිකාවක් කියලා දැනගත්තාම ජීවිතය අත්හරිනවා.

නමුත් මින්නු තමන්ගේ ඇතුළාන්තය හාරලා බලනවා. එහෙම අය ඕන තරම් ඉන්නවා. ඒ නිසා මේක අභව්‍ය කතාවක් කියලා මම කෙහෙත්ම පිළිගන්නේ නෑ.

අපේ සිනමා කර්මාන්තය අද තිබෙන තැන ගැන ඔබගේ ඇගයීම කුමක්ද?

යම් කිසි ඔසවා තැබීමක් පෙන්නුම් කරනවා. ඒ වගේම මගේ පුද්ගලික අදහසක් තමයි සිනමාව කලාත්මක ද වාණිජ ද කියලා මම ඉරි ගහන්න කැමැති නෑ. සිනමාව කර්මාන්තයක් නම් මෙහි සියලුම දේවල් තියෙන්න ඕනෑ. ඒ වගේම ප්‍රේක්ෂකයන්ට විවිධත්වයක් අවශ්‍යයි කියන අදහසෙයි මම ඉන්නේ. අපේ සිනමාව කඩා වැටෙන්න ප්‍රධානම හේතුව තමයි ගැලරිය ඉවත් කිරීම. දැන් අපට ගැලරියක් නෑ. ඒක වෙනම සමාජ මට්ටමකට සම්බන්ධයි. එතකොට ඒ අය අපි අයින් කරලා. ඒ අයට දැන් ලොකු ගාණක ටිකට් එකක් අරන් බලන්න බෑ. ඒක අපි කර ගත් නරක වැඩක්. ඒක ඍජුවම අපේ සිනමා කර්මාන්තයට බලපෑවා.

ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු කෙසේ වන්නේද?

මම ආදර අන්තය කියලා අමුතු ආකාරයේ නිර්මාණයක් කරන්න අතගහලයි තියෙන්නේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT