අප රටට නිදහස ලබා ගැනීමෙන් පසු රටේ බෞද්ධ උරුමය රැක ගැනීමටත් බොදු ජනතාවගේ සහ බුදු සසුනේ නවෝදය ඇති කිරීමත්, අරමුණු කරගෙන බිහි වූ සංවිධානයක් වුයේ බෞද්ධ ජාතික බලවේගයයි.අම්බලන්ගොඩ ඇල්.එච්. මෙත්තානන්ද මහතාගේ නායකත්වයෙන් ඇරඹි මෙම සංවිධානයෙන් බිහිවූ තරුණ නායකයන් රැසකි. ඔවුන් අතරින් පෙරමුණ ගත් තරුණ ජවයක් තිබු නායකයෙකි අද දැයෙන් සමුගන්නා රොනල්ඩ් ජෝසප් ගෝඩ්ප්‍රි ද මැල් හෙවත් රොනී ද මැල් මහතා.
1925 අප්‍රේල් 11 වන දින සිංහල අලුත් අවුරුදු සමයේ කොවුල් කූජනය නැංවෙද්දී මොරටුවේදී ජන්මලාභය ලැබූ රොනී ද මැල් මහතා රටට සුවිශේෂී පුද්ගලයන් රැසක් බිහිකළ ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහලෙන් අධ්‍යාපනය ලබා ලංකා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ගෙන රාජ්‍ය පරිපාලන සේවයට පත්වුයේ මනා දැනුමක්, කළමනාකරණ ශක්තියත්, දක්ෂ කථිකත්වයත් තිබෙන නිලධාරියෙකු වශයෙනි. මේ අතරතුර එංගලන්තයේ ක්‍රේම්බීජ් විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර මුල්‍ය හා වෙළෙඳාම පිලිබදව පශ්චාත් උපාධියක් ලබාගත් රොනී ද මැල් මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ ප්‍රධානියා වශයෙන් 1962 සිට 1965 දක්වා කටයුතු කළේ දක්ෂ පරිපාලකයෙකු වශයෙන් හා මාධ්‍ය ක්ෂේත්‍රයේ නිපුනයෙකු ලෙසිනි.
රාජ්‍ය සේවයෙන් ඉවත්ව 1965 වසරේ රොනී ද මැල් මහතා මහ මැතිවරණයට බිබිල ජන්ද කොට්ඨාසයට ඉදිරිපත් වුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙසිනි.මොරටුවේ උපන් රොනීට ඈත ඌව වෙල්ලස්සේ බිබිලට ජන්දය ඉල්ලීමට තිබුණු සුවිශේෂී හේතුවක් විය. එම හේතුව නම් රොනීගේ බිරිඳ වූ මල්ලිකා ද මැල් මහත්මියගේ පියාණන්වූ එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ව්‍යාපාරික ධනවත් ජේ.ඩී. ලියෝ ප්‍රනාන්දු මහතා වෙල්ලස්සේ එකළ තිබු බුත්තල මැතිවරණ කොට්ඨාසයේ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කර තිබීමයි. 1965 එම මහා මැතිවරණයට බිබිල ජන්ද කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂයේ රැස්වීම්වල විශේෂ ආරාධිත කථිකයෙකු වුයේ ගාල්ල මන්ත්‍රී විජයානන්ද දහනායක මහතායි. බිබිලේ හිටපු රාජ්‍ය මන්ත්‍රීවරයෙකු වූ දහනායක මහතා රොනීට විරුද්ධව ඔහුට ජන්දය දෙන්න එපා කිවේ හාස්‍ය රසය මතු කරමිනි. ඔහු පැවසු කතාව ගොඩක් දිග කතාවක් නොව ඉතා කෙටි කතාවකි.
බිබිලෙ මන්ත්‍රී
” තමුන්නාන්සේලාට මාව මතකද ?
ඔව්. මොකද මතක නැත්තේ එක පාරක් බිබිලෙට ජන්දෙත් ඉල්ලලා, මන්ත්‍රී වෙලා මැති සබයට ගියේ ඔය මහත්තයා නේද ? ”
” ජන්දේ ඉල්ලලා මැති සබයට ගියාට පස්සේ මම බිබිලට ආවද ? ”
” කවදාවත් බිබිලට ආවයි කියලා අපි අහලා නැහැ.”
” ජන්දෙන් පස්සේ තමුන්නාන්සේලා මාව දැක්කද ? ”
නැහැ. නැහැ අද තමයි දැක්කේ, රැස්වූ පිරිස උත්තර දුන්නේය.
” එහෙනම් හොඳට මතක තියාගන්න. ගමේ එකාලා පරද්දලා පිටින් එන එකෙක් බිබිලෙ මන්ත්‍රී කරලා පාර්ලිමේන්තු යැව්වොත් මම කරපු එකමයි අනෙත් එකා කරනෙත්. ඒ නිසා පිටින් එන රොනීට ජන්දේ දීලා වරද්දගන්නේ නැතුව ගමේ ධර්මදාස බණ්ඩාට ජන්දය දීලා ඔහු මන්ත්‍රී කරගන්න. ”
1965 දී රොනී පරාජයට පත් වී ධර්මදාස බණ්ඩා මහතා බිබිලෙ මන්ත්‍රී වීමට `ප්‍රධානම හේතුව දහනායක මහතාගේ ඉහත කතාව විය. 1967 වසරේදී දෙව්නුවර ජන්ද කොට්ඨාසයට අතුරු මැතිවරණයක් පැවැතුණි. ඒ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වුයේ රොනී ද මැල් මහතාය. ඔහු විසින් ජය ලබා මැති සබයට පිවිසියේ දෙවිනුවර නව මහජන මන්ත්‍රීවරයා වශයෙනි. ඔහු මැති සබයේත් දේශපාලන වේදිකාවේත් සිය චතුර කථිකත්වය අවදි කළේ ජනතා සිත් සතන් ප්‍රබෝධමත් කරමිනි. 1970 මහ මැතිවරණයෙන් ද දෙව්නුවර මන්ත්‍රී වරයා වශයෙන් ජන්ද විසිදහස් හත්සිය අනුඅටක් ලබා වැඩි ජන්ද 6051කින් දෙව්නුවර මන්ත්‍රීවරයා බවට පත්ව මැතිසබයට පැමිණිය ද සිරිමා බණ්ඩාරනායක මැතිනිය රොනී ද මැල් මහතාට කිසි ඇමති පදවියක් හෝ නියෝජ්‍ය අමාත්‍ය පදවියක්වත් දීමට වගබලාගත්තේ නැත. දක්ෂ පරිපාලන නිලධාරියෙකු වූ රොනිට වඩා උගත් කමින් හා වැඩ කිරීමට අදක්ෂ වූ පුද්ගලයන් ඇමති, නියෝජ්‍ය ඇමති පදවි ලබා ඇතැම් ඇමතිවරුන් බීමත්ව මැතිසබයේ ගුටි ඇන ගන්නා විට රොනී ඒ දෙස බලා සිටියේ කලකිරුණු සිතිනි. මේ වන විට එක්සත් ජාතික පක්ෂයත් එහි නායක ජේ. ආර්. ජයවර්ධන මහතාත් රටවටා යමින් සිය දේශපාලන කඳවුර බලවත් කරන විට රොනී තීරණය කළේ එක්සත් ජාතික පක්ෂයට එකතු වීමටය. ඒ අනුව 1974 වසරේදී රජයෙනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුත් ඉවත් වී විපක්ෂයේ අසුන් ගත් රොනී මාස කිහිපයක් ස්වාධින මන්ත්‍රීවරයෙකු වශයෙන් සිට 1975 වසරේදී එක්සත් ජාතික පක්ෂයට එකතු වී ජේ. ආර්. සමඟ රට පුරා යමින් රජයට විරුද්ධව සිය කටහඬ අවදි කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජය පෙරළා නව එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවීමට ජනතාවට එකතුවන ලෙසිනි. මේ අනුව 1977 මහ මැතිවරණයේදී දෙව්නුවර අසුන දිනා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා ලෙස රොනී මැති සබයට පිවිසියේ ජන්ද 23776ක් ලබා වැඩි ජන්ද 9439 කින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා පරාජයට පත්කරමිනි.
මුදල් ඇමති
මෙම මැතිවරණයෙන් රටේ පාලකයා බවට පත් වූ අගමැති ජේ. ආර්. ජයවර්ධන මහතා තමන් පිහිට වූ නව රජයේ මුදල් හා ක්‍රමසම්පාදන ඇමති පදවිය රොනීද මැල් මහතාට පිරිනැමිය. ඹහු එය භාර ගන්නා විට එම ඇමැති පදවිය රටටම තිත්ත වූ ඇමති කමක් විය. මැතිනියගේ රජයේ මුදල් ඇමති පදවිය දැරූ සමසමාජ නයක ඇන් . ඇම්. පෙරේරා මහතා ජනතාව පෝලිම් යුගයකට පත්කර සියලුම බඩු භාණ්ඩ සමුපකාර යටතේ කූපන්, සලාක හා බලපත්‍ර ක්‍රමයන් යටතේ ලබා ගැනීමට ඉඩ සලස්වා තිබුණි. සහල් සේරු දෙකකට වඩා මාර්ගයක ගෙන යෑමට නම් පුද්ගලයෙකු සතුව බලපත්‍රයක් ගෙන තිබිය යුතුමය. අඟහරුවාදා සහ සිකුරාදා හෝටල්වල බත් ව්‍යංජන විකිණීම තහනම්ය. පාංශුකූලයක් සදහා රෙදි සතර රියනක් ගැනීමට ග්‍රාම සේවා නිලධාරියාගේ ලිපියක් අවශ්‍ය විය. මගුල් ගෙදරක ආහාර වේලට බත් ලබා දෙන්නේනම් ඒ සඳහා ආරාධනා කළ යුත්තේ සීමිත ප්‍රමාණයකටය. මේ දුෂ්කර සමය 77 මහ මැතිවරණයත් සමඟ සමාප්ත වූයේ රොනී ද මැල් මහතා මුදල් ඇමති වශයෙන් පත්වීමත් සමඟය.
රොනී ද මැල් මහතා සහ ලලිත් ඇතුලත්මුදලි මහතා යන දෙදෙනාගේ සුසංයෝගයෙන් බිහි වූ ලංකාවේ විවෘත ආර්ථික ක්‍රමය නිසා ජනතාවගේ කුසගින්න නිමාලිමට හේතු විය. වසර 11ක් ලංකාවේ මුදල් ඇමති පදවිය දැරූ රොනී ද මැල් මහතා ලෝකය පුරා ධනවත් රටවලට යමින් විවිධ මුල්‍යමය ආධාර අප රටට සොයා දුන්නේ පවුලක් ගොඩනඟන පියෙක් ලෙසිනි.

අය වැය ඉදිරිපත් කරමින්
කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය සඳහා අවශ්‍ය ආධාර උපකාර ලබා ගැනීමට විදේශීය රාජ්‍ය සමඟ සිදු කළ කතා කිසිවක් අපතේ ගියේ නැත. එකල අප රටේ පුවත්පත්වල රොනී ද මැල් මහතා කාටුන් චිත්‍රයට ලක් වූ ප්‍රබල දේශපාලන චරිතයක් විය. පාත්තරයක් රැගෙන උඩින් යන පුද්ගලයෙකු වූවා නම්, ඒ රොනීය. රොනී ද මැල් මහතාගේ එක සිහිනයක් වුයේ රුහුණට විශ්වවිද්‍යාලයක් ලබා ගැනීමය. මැතිනිය උතුරු පළාතට විශ්වවිද්‍යාලයක් ලබා දුන්න ද දකුණට එය නොකළ බවත් සෑම විට මැතිනිය දකුණ රැවැට්ටු බවත් රොනී මැති සබයේත් ගමේ ගොඩේ, නගරයේ වේදිකාවලත් පැවසුවේ වේදනාවෙනි.
1970 බලයට් පත් වූ මැතිනියට දකුණට විශ්වවිද්‍යාලයක් ලබා දෙන ලෙසත් එය බළපිටියේ ගුරු විද්‍යාලය මුල් කරගෙන පිහිටුවන ලෙසත් එම රජයේ ප්‍රබල ඇමතිවරයෙකු වූ කොල්වින් ආර් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වා විද්වතුන් රාශියක් ඉල්ලා සිටිය ද එය ඉටු නොවුණු බව රොනී ද මැල් මහතා දැන සිටියේය. රොනී මුදල් ඇමති වූ විට යටපත්ව තිබුණු දකුණේ සරසවිය පිහිටු වීමට රොනී බලාපොරොත්තු වූයේ ගාල්ලේය. එයට සුදුසු ස්ථානය ලෙස ඔහු යෝජනා කළේ නිදහස් අධාපනයේ සිය උගත් ගාල්ලේ රිච්මන්ඩ් විදුහල් භුමියේ එම සරසවිය ආරම්භ කිරීමයි. යාපනයේ සරසවිය පිහිට වූයේත් යාපනයේ තිබු ප්‍රධාන පාසලක් මුල් කරගෙනය. මෙම යෝජනාවට අකමැති වූ ප්‍රධානම පුද්ගලයා වුයේ රිච්මන්ඩ් ආදී සිසුවෙකු වූ ගාල්ල මන්ත්‍රී විජයානන්ද දහනායක මහතාය. දහනායක සමඟ නොගැටුණ රොනී රුහුණේ සරසවිය මාතර පිහිටවීමට වග බලාගත්තේය. ඒ අනුව රුහුණු විශ්වවිද්‍යාලය බිහි විය.
රොනී සහ එවකට අගමැති වූ ආර්. ප්‍රේමදාස මහතා අතර එතරම් ඇයි හොඳයි කම් නොතිබුණි. මේ නිසා එක්සත් ජාතික පක්ෂයේත් හා රජයේත් ඇමති ධුරයෙන් 1988 වසරේදී ඉල්ලා අස්වූ රොනී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස පෙනී සිට එළඹුන ජනාධිපති වරණයේදී සිරිමා මැතිනියගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන්නට විය. එම මැතිවරණයේදී ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ජනසවි වැඩසටන රොනී හැඳින්වුයේ ” පොකුරු බොරුවක් ” ලෙසිනි .
මාතර පළමු මන්ත්‍රීවරයා
ප්‍රේමදාස මහතා සිය රැස්වීමවලදී රොනී හැඳින් වුයේ ” පනී ද පිල් ” වශයෙනි. එයට හේතුව වුයේ රොනී පක්ෂ මාරු කරන්නෙකු ලෙස හැදින්විමටය. එම ජනපතිවරණයෙන් මැතිනිය පරාජයට පත් වූ නිසා ලංකාවෙන් පිටත්ව විදේශගතව සිටි රොනී ආපසු ශ්‍රී ලංකාවට පැමිණියේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ මරණයෙන් පසුව ඩී. බී. විජේතුංග මහතාගේ පාලනයේදීය. ශ්‍රී ලංකාවට පැමිණි රොනී ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයෙකු වී මුදල් ඇමැතිවරයා හා නාවික කටයුතු භාර ඇමති වරයා බවට පත්විය.
1994 මහා මැතිවරණයේදී සමානුපාතික ජාතික ජන්ද ක්‍රමය යටතේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස මාතර දිස්ත්‍රික්කයට තරග කළ රොනී ද මැල් මහතා මාතර දිස්ත්‍රික්කයේ පළමු වන මන්ත්‍රීවරයා ලෙස මනාප ජන්ද 66,563 ක් ලබමින් ජයගත්තේ විශිෂ්ට අන්දමිනි. දේශපාලනයේ කුමන පක්ෂයක සිටිය ද රොනී ජනතාව වෙනුවෙන් පෙනී සිටි නායකයෙකි. ඔහු තම සිතට එකගව තීන්දු තීරණ ගත්තේ ඉන්ද්‍රකීලයක් සේ නොසෙල්වෙමිනි. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගෙන් පසුව එක්සත් ජාතික පක්සහ්යේ නායකත්වය ගෙන රට නිවැරදි දිශාවකට ගෙන යන්නට සුදුසුකම් හා හැකියාවන් තිබුණ ද රොනීට රටේ නායක වීමට තීරණයක් හෝ අරමුණක් නොතිබුණි.
2005 ජනාධිපති වරණයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පරාජයෙන් පසු දේශපාලනයෙන් විශ්‍රාම ගත් රොනී ද මැල් මහතා යළි දේශපාලනයේ නොයෙදුණි.
රොනී ද මැල් මහතාගේ බිරිඳ වූ මල්ලිකාද මැල් මහත්මිය ද ටික කලක් මැතිසබය නියෝජනය කළ මන්ත්‍රීවරියක් වශයෙන් කටයුතු කළාය. මේ අනුව පියා, දියණිය හා බෑණනුවන් යන තිදෙනෙකු ( ලියෝ ප්‍රනාන්දු , මල්ලිකාද මැල් , රොනී ද මැල් ) එකම පවුලකින් මැතිසබය නියෝජනය කළ පිරිසක් ලෙස මැල් පවුල මැතිසබය තුළ තබා ඇති වාර්තාව ද සැලකිය යුතු එකකි. වසර 99ක් සපිරෙන්නට මාසයක් පමණ තිබියදී සිය දිවි ගමනෙන් සමුගත් රොනී ද මැල් මහතා රටේ දේශපාලනයේ සදා අමරණීයත්වයට පත්වන සුවිශේෂී නාමයක් හිමි කරගත් දේශ සේවකයෙකි. මැතිදුණි ඔබ දක්ෂිණ ශ්‍රී ලංකාවේ උපත නොලැබුවත් දකුණු ලකේ උපන් බොහෝ දෙනෙකුට වඩා දකුණු ලකට ආදරය කළ, ගෞරව කළ නායකයෙකි. මහත්මයෙකි. ඔබ තුමන් මතු දින සසර නිවනින් කෙළවර කරත්වා !
වජිර අබේවර්ධන (පාර්ලිමේන්තු මන්ත්‍රී )
එක්සත් ජාතික පක්ෂ සභාපති,
ස්වදේශ කටයුතු, අභ්‍යන්තර කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන හිටපු අමාත්‍ය