Home » රොනී ද මැල් දිවි මඟ මතක

රොනී ද මැල් දිවි මඟ මතක

by mahesh
March 1, 2024 1:00 am 0 comment

රොනී ද මැල් මහතා පාඨශාලා මට්ටමේ දී මෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදීත් විශිෂ්ට වාර්තා පිහිටුවාලූ විද්‍යාර්ථියෙකි. 1930 දශකයේ දී සහ 1940 දශකයේදීත් එතුමා අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. සමකාලීන ප්‍රවෘත්ති විෂය පිළිබඳ සාමාන්‍ය දැනුම උදෙසා පිරිනැමෙන ‘රණසිංහ අනුස්මරණ තිළිණය’ රොනී ද මැල් මහතා විසින් දෙවරක්ම දිනා ගන්නා ලදි. ඉතිහාසය උදෙසා පිරිනැමෙන ‘චාල්ස් පීරිස් ත්‍යාගය’, ‘පූජා ප්‍රසාදීන් වහන්සේලාගේ දේවත්ව ත්‍යාගය’, ඉංග්‍රීසි රචනාව උදෙසා පිදෙන ‘පීරිස් සිරිවර්ධන රන් පදක්කම’, අමෙරිකා එක්සත් ජනපදය විසින් පිරිනැමෙන ‘ඒබ්‍රහම් ලින්කන් අනුස්මරණ ත්‍යාගය’ හා සෙසු ත්‍යාගත් එතුමාට පිරිනැමුණු ත්‍යාග අතර වෙයි.

ඒ කාලයේදී දෙවන ලෝක මහා යුද්ධය පැවැතියේය. ඒ සමයේදී නැව් මඟින් කෙරෙන සියලු පෞද්ගලික සංචාරයන් නවතා තිබිණි. විදේශ සංචාරයේ නිරත විය හැකි වූයේ හුදෙක් නැව් මඟින් පමණි. යළිත් එතුමා ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රථම කලා පරීක්ෂණයේ දී ප්‍රථම ස්ථානය දිනා ගත්තේය. එතුමා ඒ ප්‍රථම ස්ථානය ලබා ගත්තේ කලා පිළිබඳ ‘මුන්චර්ජි ෆ්රාමජිකාන් රන් පදක්කමක්’, ‘කලා පිළිබඳ විශ්වවිද්‍යාල ශිෂ්‍යත්වයත්’, ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් පිරිනැමෙන ‘පිටකොටුවේ පුස්තකාල ත්‍යාගයත්’ දිනා ගනිමිනි. ඒ කාලයේදී ලංකා විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම කලා පරීක්ෂණයේ දී පිරිනැමුණේ එම ත්‍යාග තුන පමණි. සම්භාව්‍ය ඉංග්‍රීසි සාහිත්‍යය, ආර්ථික විද්‍යාව හෝ ඉතිහාසය යන විෂයයන් තුනෙන් ඕනෑම එකක් සඳහා ගෞරව උපාධිය හදාරන්නට එතුමාට සුදුසුකම් ලැබුණේය. එහෙත් එතුමා තීරණය කොට ගත්තේ (යුරෝපා සහ එංගලන්ත ඉතිහාසය ඇතුළු) ඉතිහාස විෂයයෙන් ගෞරව උපාධියට පෙනී සිටින්නටය.

එතුමා ශ්‍රී ලංකාවේදී සිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමා කළේ ඉතිහාසය පිළිබඳව ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් ලබමිනි. ඒ කාලයේදී ලංකා විශ්වවිද්‍යාලයේ අවසාන උපාධි පරීක්ෂණයෙන් සාමාර්ථ්‍ය ලද අයෙකුට පිරිනැමෙන සියලුම තිළිණ සහ රන් පදක්කම් ද එතුමා දිනා ගත්තේය. ඒ වර්ෂයේ සියලුම උපාධිලාභීන් අතුරෙන් ප්‍රථම ස්ථානයට පත් තැනැත්තා වශයෙන් එතුමාට 1947 දී රජයේ ‘ලංකා කලා ශිෂ්‍යත්වය’ ද පිරිනැමුණේය. ප්‍රවේශ විභාග ආදී කිසිම පරීක්ෂණයකින් තොරව 1947දී එතුමා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට බඳවා ගන්නා ලදි. ඒ අතරම එතුමා ලංකා සිවිල් සේවයට බැඳෙනු පිණිස ලංකා සිවිල් සේවා විභාගයට ද පෙනී සිටියේය. එතුමා එම විභාගයෙන් ද සමත් වූයේය. එතුමා එම කාලයේ භාණ්ඩාගාර ලේකම් නිලධාරියා වූ බ්‍රිතාන්‍ය ජාතිකයාට ලිපියක් ලියමින් ඉල්ලා සිටියේ තමාට වැටුප් රහිතව තුන් අවුරුදු නිවාඩුවක් ලබා දෙන ලෙසයි. එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි. එසේ ප්‍රතික්ෂේප කිරීමට හේතු වශයෙන් දක්වන ලද්දේ ලංකා සිවිල් සේවය සඳහා පශ්චාත් උපාධි සුදුසුකම් අවශ්‍ය නොමැති බවයි. රජයෙන් ද එසේම ඉල්ලා සිටි නමුත් එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප කෙරිණි. ප්‍රතික්ෂේප කරන ලද්දේ පශ්චාත් උපාධි සුදුසුකම සහිත කිසිවෙකු ලංකා සිවිල් මෙහෙයට අවශ්‍ය නැතැයි යන පදනම මතය. ලංකාවේ සිවිල් සේවයේ පත්වීම් ලබා ගන්නා පිණිස රොනී ද මැල් මහතාට සිදු වූයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි පශ්චාත් උපාධි හැදෑරීම් අකමැත්තෙන් වුවද අත් හැර දැමීමටයි. ඔහුට භාර ගැනීමට සිදුවූ සිවිල් සේවා පදවිය නම් රජයේ භාණ්ඩාගාරයේ පුහුණු වන සිවිල් සේවා නිලධාරි තනතුරයි.

ඔහු සර් ආතර් රණසිංහ මහතා යටතේ සුළු කලක් භාණ්ඩාගාරයේ සේවයේ යෙදුණේය. ඉන් ඉක්බිතිව, තවත් කාලයක් කර්මාන්ත පිළිබඳ අමාත්‍ය තැන්පත් ගරු ජී.සී. පොන්නම්බලම් මහතා යටතේ කර්මාන්ත අමාත්‍යාංශයේ සේවයේ යෙදුණේය. එසේම ශ්‍රී ලංකාවේ නිදහස් යුගයේ ප්‍රථම අග්‍රාමාත්‍ය තැන්පත් ඩී.එස්. සේනානායක මහතාගේ රජයේ කර්මාන්ත හා කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්ව සිටි ආර්.එස්. බැසට් මහතාගේ සහකාර ලේකම් වශයෙන් එතුමා සේවය කළේය. එතුමා පුත්තලමේ සහකාර ඒජන්ත (දිසාපති) වශයෙන් සුළු කාලයක් ද සේවයේ යෙදුණේය. ඉන්පසුව එතුමා නැවත කොළඹට පැමිණ කෘෂිකර්ම හා ඉඩම් පිළිබඳ අමාත්‍ය තැන්පත්ව සිටි ගරු ඩඩ්ලි සේනානායක මහතාගේ කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශයේ සේවයට බැඳුණේය. (ස්ථිර ලේකම් සර් ආතර් රණසිංහ සහ ස්ථිර ලේකම් එස්.එෆ්. අමරසිංහ යටතේ) මෙය කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය සත්‍ය වශයෙන්ම බැබළුණු කාල පරිච්ඡේදයයි. සහලින් ස්වයංපෝෂිත වීම සඳහා තිබුණු සිහිනය ශ්‍රී ලාංකිකයන්ට සැබෑ කර ගන්නට හැකි වූයේ මේ කාලයේදීය.

මේ යුගයේදී ගල්ඔය ක්‍රමය සහ සෙසු වාරිමාර්ග රටාත් පිහිටුවන ලදි. ඒ සමඟම පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය, ඉරණමඩු, ගිරිතලේ, රිදී බැඳි ඇළ, තිසා වැව සහ සෙසු වාරිමාර්ග පද්ධති කෘෂිකාර්මික ප්‍රගතිය සඳහා පිහිටුවන ලදි. කොටින්ම කිවහොත්, එය නවීන ශ්‍රී ලංකාවේ වාරිමාර්ග හා කෘෂිකාර්මික ප්‍රගතිය පිළිබඳ ස්වර්ණමය යුගය ලෙස නම් කළ හැකිය. අතීත යුගයන්ගෙන් පසුව මෙම දේශය සුළු කලෙකින්ම සහලින් ස්වයංපෝෂිත වූයේ මේ කාලයේදීය. සිය සිවිල් සේවා යුගයේ ඉතාම වටිනා කාලපරිච්ඡේදය වශයෙන් රොනී ද මැල් මහතා විසින් සලකනු ලබන්නේ එතුමා කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශයේ සේවයේ නියුක්තව සිටි කාලපරිච්ඡේදයයි.

එසේම මේ සමයේදී මැල් මහතා මල්ලිකා ප්‍රනාන්දු මෙනෙවිය විවාහ කර ගත්තේය. එතුමිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ බස්රිය, ව්‍යාපාර, තේ හා රබර් වගා හිමියන්ගෙන් කෙනෙකු වූත්, බුත්තල මන්ත්‍රීවරයා වූත්, සර් ලියෝ ප්‍රනාන්දු මහතාගේ දියණියයි. එය සත්‍යයෙන්ම සුරපුරයේ සිදුවූ විවාහ මංගල්‍යයකි. ඇය ඒ වන විට 19 හැවිරිදි වූවාය. ඇය නොපමාවම රොනීගේ දකුණතත්, ආධ්‍යාත්මික සහකාරියත් වූවාය. එතුමිය සාමාන්‍ය දිවි පෙවෙතේ දී පමණක් නොව දේශපාලනය, ව්‍යාපාර ආදී සියල්ලේදීම එතුමාගේ සහකාරිය වූවාය. රොනී, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ එදිනෙදා කාර්යයේ නිමග්නව අපේ දේශයට අත්‍යාවශ්‍ය වූ විදේශාධාර සොයමින් ලොව මුළුල්ලේ සැරිසරද්දී මැල් මහත්මිය විසින් කරන ලද්දේ හුදෙක් ගෙදර දොර කටයුතු සොයා බැලීම පමණක් නොවේ. ඇය සිය ස්වාමි පුරුෂයාගේ ඡන්ද කොට්ඨාසයේ වගකීම් ද ඉටු කළාය. බුද්ධිමත් දියණියන් තිදෙනෙකු ද හදා වඩා ගත්තාය. ඇයටම විශේෂ වූ ආකාරයෙන් ආගමික කටයුතු හා පින් දහම් විශාල සම්භාරයක් ඉටු කළාය. එතුමිය බොහෝ සේ අකමැතිව සිටියදීම එතුමියට මාතර දිස්ත්‍රික්කයේ අසුනක් සඳහා තරග කරන්නට ආරාධනා කළ විට එතුමිය ස්වශක්තියෙන් හා ඉතා පහසුවෙන් ද, ආත්ම විශ්වාසයෙන් ද යුතුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පිවිසියාය. ස්වාමි භාර්යා දේශපාලන සහාය සඳහා එවැනි නිදර්ශන බොහෝමයක් සපයන අප දේශයෙහි මෙම ස්වාමි භාර්යා යුවල සුවිශේෂී දේශපාලන සහයෝගිතාවයක් ප්‍රදර්ශනය කළහ.

රොනී ද මැල් මහතා හැමවිටම කියන්නට පුරුදු වී සිටියේ විශ්‍රාම ගන්නට කල් එළැඹි විට විශ්‍රාම ගත යුතු බව කෙනෙකු විසින් දැන සිටිය යුතු බවයි. දේශපාලනය හැර අප විසින් කළ හැකි වෙනත් දෑ බොහොමයක් තිබෙන බව කියා සිටින්නට ද එතුමා පුරුදු වී සිටියේය. එතුමා ඉන් එකක් ලෙස සැලකුවේ කියවීමයි. දෙවැන්න වූයේ ක්‍රීඩා නැරඹීමයි. තෙවන විනෝදාස්වාදය වූයේ ගෙවතු වගාවයි. එතුමාට උයන්පල්ලෙක් සිටියේය. එසේ වුවද ගී කියන කන්දේ අලංකාර උද්‍යානයේ තනි උයන්පල්ලා එතුමාය. ඒ උද්‍යානය පොකුණු, දියඇලි, මල්ගොමු හා පෞද්ගලික වන ගහණයෙන් යුක්ත විය. එහි ඇළදොළ හා දිය පහරවල් විශිෂ්ට මනසකට හා සුවිශේෂී චමත්කාරශීලීත්වයකට පිදෙන උපහාරයයි.

ඔහුගේ දිවි පෙවෙත, එය හා බද්ධ සන්තෘෂ්ටිය, දෝමනස්සයන්, ජයග්‍රහණයන් හා වෙනකක් තබා සෙස්සන්ගෙත්, තමන්ගෙත් යැපෙන්නන්ගෙත් සන්තෘෂ්ටිය හා දෝමනස්සයන් සමඟම, මුළුමනින්ම හා හැමවිටම බද්ධ වූ ආස්වාදයක් වන්නේ ය. ඒ ජීවන ශෛලිය යොවුන් වියේ හැමෝටම ආභාසයක් වන්නේය. එතුමාගේ කෙටි වුවත්, අතිවිශිෂ්ට වූ ලංකා සිවිල් සේවා යුගය, මම දිගින් දිගටම විස්තර නොකරන්නෙමි. එම කෙටි සිවිල් සේවා මෙහෙයේදී එතුමා ඩඩ්ලි සේනානායක මහතා යටතේ කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යාංශයේ සේවයේ නියුක්තව සිටියේය. ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු යුගයේදී ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනයෙන් විශාල ප්‍රමාණයක් සිදු වූයේ එම සමයේදීය. එතුමා ගුවන් විදුලි අධ්‍යක්ෂක ජනරාල් වශයෙන් සේවයේ යෙදුණේය. රජයේ භාණ්ඩාගාරයේ සේවයේ නියුක්ත වූයේය.

රොනී ද මැල් මහතාගේ අගය ඇති දේශපාලන ජීවිතය ගැන ද දිගින් දිගටම විස්තර නොකළ ද කිව යුතු ඇතැම් කරුණු ඇත්තේය. එතුමා 1967 දී දෙවිනුවර මන්ත්‍රීවරයා වශයෙන් පාර්ලිමේන්තුවට සම්ප්‍රාප්ත වූයේ සම්පූර්ණ කෝඩුකාරයෙකු වශයෙන් තරග බිමට එළැඹීමෙනි. එතුමා වසර 11ක් මුළුල්ලේ (1977 සිට 1988 දක්වා) මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් වාර්තාගත දේශපාලන විභූතියක් පළ කළේය. වරාය හා වරාය සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් එතුමා ශ්‍රී ලංකාවේ වර්තමාන සංවර්ධනයෙහි පදනම පිහිටුවාලූයේය. එසේම ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ද එතුමා දේශයේ සංවර්ධනය තහවුරු කළේය. මින් ප්‍රදර්ශනය කෙරෙන්නේ පුරා අවුරුදු 40ක් පමණ කාලපරාසයක් මුළුල්ලේ විහිදෙන දේශපාලන ක්‍රියාදාමයකි. එතුමා දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා තෙක්ම එම සංවර්ධන ව්‍යාපෘතිවලට උර දුන්නේය. ඉන්පසු එතුමා විශ්‍රාම සුවයෙන් පසුවන්නේ සිය තේ වතු හා රබර් වගා ආදියත් බලා කියා ගැනීමේ නිරත වීමෙනි. එසේ විවේකීව වෙසෙමින් ඔහු සිය මන වඩන උයන් වතු රැක බලා ගත්තේය.ජෝන් කීට්ස් නම් ඉංග්‍රීසි ජාතික කවියා (1795 – 1821) විසින් සනාතනිකව ගයන ලද පරිදි එතුමා ද විශ්වාස කරන්නේ සෞන්දර්යයේ අමරණීයත්වය හා ආශ්වාදදායී බවයි.

ඔහු හැත්තෑ වසක් මුළුල්ලේ පරිපූර්ණ දිවි පෙවෙතක් ගත කළේය. ඒ ජීවන ශෛලිය දෑ හිතැතිය.එතුමාගේ සෞන්දර්යවාදී දර්ශනයට ඉතාම සුදුසු අමරණීය පද මාලාව වන්නේ ජෝන් කීට්ස් නම් ඉංග්‍රීසි ජාතික කිවිඳාගේ ලාලිත්‍යමය වදන් පෙළයි.

“A thing of beauty is a joy forever;

Its loveliness increases; it will never

Pass into nothingness”

-John Keats (1975 – 1821)

“සෞන්දර්යාත්මක දේ සදා ආශ්වාදදායී ය.

එහි සොඳුරු බව එන්න එන්නම ලියලා වැඩෙන්නේ ය. එය කිසි කලෙක ශූන්‍යතාවයට නොයයි… එය සදා අමරණීය යි.”

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT