Thursday, May 15, 2025
Home » පරාටේ නීතිය අත්හිටුවීම ආර්ථිකය බලගැන්වීමට ජවයක් වෙනවා

පරාටේ නීතිය අත්හිටුවීම ආර්ථිකය බලගැන්වීමට ජවයක් වෙනවා

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංසදයේ උප සභාපතිනි ශෂිකලා ද සිල්වා

by mahesh
March 1, 2024 1:00 am 0 comment

ජයසිරි මුණසිංහ

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත. වසර තුනක් තිස්සේ විවිධ අභියෝගයන්ට ලක්ව බිඳවැටුණු ව්‍යාපාර කර්මාන්ත යළි බලගැන්වීමට දිරිය දෙමින් රජය නව තීරණයක් ද ගෙන ඇත. එය ක්‍රියාවට නැංවෙන ආකාරය සහ අනාගත කර්මාන්තකරණයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා ගැනීම කළ යුත්තේ කෙසේද යනාදී කරුණු කාරණා ගැන පැහැදිලි කරමින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංසදයේ උප සභාපතිනි ශෂිකලා ද සිල්වා සමඟ කළ සාකච්ඡාවකි මේ.

– ව්‍යවසායකයන්ට අත දෙන නව සංවර්ධන බැංකුවක් අවශ්‍යයි
– ව්‍යවසායක රාජ්‍යයක් බිහි කළ යුතුය
– ආර්ථික දැති රෝදය කැරකැවීමට සියලු දෙනා දායක විය යුතුයි
– ලාභ, පාඩු නොබලා වහ වහා ව්‍යාපාර කර්මාන්ත බලගැන්විය යුතුයි

ඔබ නියෝජනය කරන කර්මාන්ත ව්‍යාවසායක පිරිස කවුරුන් ද?

අපේ රටේ වසර තුනක් තිස්සේ විවිධ බාධක, අභියෝග මැද ව්‍යාපාර කර්මාන්ත අඩපණ වූ විශාල පිරිසක් සිටිනවා. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ මෙන්ම මහා පරිමාණ පිරිසකුත් සිටිනවා. නමුත්, අපි අඩපණ වූ ව්‍යාපාර ක්ෂේත්‍රයේ කර්මාන්ත අංශයේ හඬක් නැඟිය නොහැකි ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ හඬක් වීමට කටයුතු කළා. ඒ අනුව අපගේ එකමුතුව මුළු රට පුරාම විසිරී සිටින මේ අංශයේ අඩපණවූවන්ගෙන් සැදුම්ලත් වෙනවා. මෙය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංසදය ලෙස තමයි ගොඩනඟාගෙන තිබෙන්නේ.

මෙම එකමුතුව තුළ පසුගිය කාලයේ හඬක් නැඟිය නොහැකි පිරිසගේ හඬ ඔබ කරළියට රැගෙන ඒමට කටයුතු කළේ කෙසේද?

ඇත්ත වශයෙන්ම කියනවා නම් දැඩි අභියෝග, ගැටලු, ප්‍රශ්න මැද අපට හැකි අයුරින් හඬක් නැඟිය නොහැකි අයගේ හඬ ගෙන ඒමට, ඉස්මතු කරලීමට ක්‍රියා කළා. මේ සඳහා දිවා රෑ නොබලා මහන්සියෙන් කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස අපට අද වන විට පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව මාස 10කට අත්හිටුවීමට හැකි වී තිබෙනවා. මෙම තීන්දුව ගත්තේ රජයයි. නමුත් අපි රජයට කළ ඉල්ලීම්, යෝජනා, බලපෑම්වල සමස්ත එකතුවක් ලෙස තමයි මෙම තීරණය ගනු ලැබුවේ. මෙම තීරණය ගැනීමට බලධාරීන් පෙළඹවීම අපේ සමස්ත ජයග්‍රහණයක් නෙමෙයි. අපේ ජයග්‍රහණය සම්පූර්ණ වීමට තව කළ යුතු විශාල කාර්යයක් තිබෙනවා.

රට පුරා විසිරී සිටි අඩපණ වූ කර්මාන්තකරුවන් නඟාසිටුවීමට මූලිකවම කළ යුතු දේ මොනවාද?

අපේ කර්මාන්තකරුවන් මුහුණ දුන් පළමුවෙනි ප්‍රශ්නය තමන් ලබා ගත් ණය නිසි ලෙස ආපසු ගෙවීමට නොහැකි වීම. මෙහිදී කර්මාන්තකරුවන්ට පමණක් මෙහි වගකීම පැවරීමට නොහැකියි. ඔවුන්ට පාලනය කළ නොහැකි තත්ත්වයන් මත තමයි රටේ ආර්ථිකය අර්බුදයකට ගියේ, ව්‍යාපාර කඩාවැටුණේ, කර්මාන්ත බිඳවැටුණේ. මේ නිසා මෙම වළෙන් ගොඩඒමට කර්මාන්තකරුවන්ට ප්‍රාග්ධනය සම්පාදනය සිදු කිරීම නැවත සිදු කළ යුතුමයි. නමුත් පරාටේ නීතිය, ණය තොරතුරු කාර්යංශයේ අසාදු ලේඛනගත වීම, බැංකු හා මූල්‍ය ආයතනවලින් ණය ලබාගැනීමට තිබෙන විශාලම බාධාවයි. මේ බාධාව දුරුකර ගන්නේ නැතිව වැටී තිබෙන තැනින් කාටවත් ගොඩඒමක් නැහැ. ඒ නිසයි අප මුලින්ම මොන තරම් අභියෝගාත්මක වුවත් මේ බාධකය දුරු කිරීමට හඬ නැඟුවේ.

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම දැන් ඔබ දිනාගෙන තිබෙනවා. නමුත් එය සම්පූර්ණ ජයග්‍රහණයක් නොවන්නේ ඇයි?

අපේ සංසදයේ හිටියා හෝ නැතා, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමට මූලික කටයුතු සිදු කර පීඩාවට පත්ව සිටි පිරිස් සිටියා. ඔවුන් තමන්ගේ එකම නැතිනම්, තමන්ගේ වටිනාම සම්පත් බැංකු හා මූල්‍ය ආයතනවලට ඇප ලෙස පවරා තිබූ අවස්ථා තිබුණා. මෙවැනි සම්පත් ණය වාරික සහ පොලිය නිසි ලෙස ගෙවීමට නොහැකි වීම නිසා එම ආයතනවලට පවරාගෙන විකුණා දැමීමට කටයුතු යොදමින් සිටියා. එම තත්ත්වයයි අප යාන්තමින් වළකා ගත්තේ. නමුත් එය සර්වසම්පූර්ණ වීමට අපේ සංසදයේ සාමාජිකයින් පමණක් නොව වෙනත් කර්මාන්තකරුවන් පවා, ව්‍යවසායකයින් පවා ගෙවිය යුතු ණය සහ පොලිය කොපමණද කියා එක් එක් අයගෙන් දැනගෙන ඒවා ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ඉදිරියේදී වැඩ කටයුතු කළ යුතුමයි. එක එක කර්මාන්තකරුවන් ලබාගෙන තිබෙන ණය ප්‍රමාණයන් විවිධයි. ණය යෝජනා ක්‍රම විවිධයි. ආපසු ගෙවීමේ සහ පොලී අනුපාතවල වෙනස්කම් තිබෙනවා. ඒ නිසා සිද්ධියෙන් සිද්ධිය වෙනම විශ්ලේෂණය කොට ඉතා ඉක්මනින් අපේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනය කිරීමට නව වැඩපිළිවෙළක් අප සම්පාදනය කළ යුතුමයි.

ඒ සඳහා ඔබ සංසදය කරනු ලබන යෝජනා මොනවාද?

මුලින්ම කළ යුත්තේ අප වැනි කර්මාන්තකරුවන් ඒකරාශී වූ සියලු සංසද, සම්මේලන, සමිති එක මිටකට සංවිධානය වීමයි. ඒ වගේම අපගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමට ඒවා සිදු කළ හැකි සියලු බලධාරී පාර්ශ්වයන් සමඟ සාකච්ඡාවෙන්, සම්මුතියෙන් ක්‍රියා කළ යුතුයි. එහිදී සියලු පාර්ශ්වයන් එක මේසයකට එක්විය යුතුයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ පටන් මුදල් අමාත්‍යංශ්‍යය, කර්මාන්ත අමාත්‍යංශය, අධිකරණ අමාත්‍යංශය, වෙළෙඳ අමාත්‍යංශය මේ ආදී අමාත්‍යංශ ඒකාබද්ධ වී ව්‍යවසායක කර්මාන්තකරුවන් සාකච්ඡා මේසයකට ගෙනා ආ යුතුයි. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, වරාය, රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව ඇතුළු ආර්ථික ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සියලු දෙනා එක් විය යුතුයි. එසේ එක්වී අපේ රටට ගැළපෙන අනාගතය දිනන ජාතික වෙළෙඳ, ජාතික කර්මාන්ත, ජාතික ව්‍යවසාය ඉලක්කගත වැඩපිළිවෙළක් ගොඩනැඟිය යුතුයි. එවැනි ගොඩනැඟීමක් සිදු නොකොට පැලැස්තර විසඳුම් ලබා දීමෙන් සිදුවන්නේ අර්බුදයෙන් අර්බුදයට යාමයි. ඒ නිසා අප ප්‍රාග්ධනය සම්පාදනය කිරීමට අමතරව කළ යුතු බොහෝ දේ යොජනා කර තිබෙනවා.

ඒ සඳහා ඔබ කරන නව යෝජනා මොනවාද?

අපි ඒ සඳහා තිරසර කර්මාන්තකරණයක් ඇති කිරීමට ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු යැයි යෝජනා කරනවා. ඒ වගේම කර්මාන්තකරුවන්ට අතදීමට, ප්‍රාග්ධනය සැපයීමට ඒ අය වෙනුවෙන්ම වෙන්වූ අලුතින්ම සංවර්ධන බැංකුවක් පිහිටවිය යුතු යැයි යෝජනා කරනවා. ඒ සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනයට නව ආයෝජන දිනාගැනීමට කටයුතු කළ යුතු යැයි යෝජනා කරනවා. සාම්ප්‍රදායික සිතුවිලි, ආකල්පවලින් මිදී නව ලොවට ගැළපෙන නව ආයෝජන දිනා ගන්නා වැඩපිළිවෙළක් ගැන අලුතින් කල්පනා කර බැලීමට කාලය පැමිණ තිබෙනවා.

මේ සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයෙන් කළ යුතු දායකත්වයක් තිබේද?

අපේ රටේ රාජ්‍ය අංශය දකුණු ආසියාවේ විශාලතම රාජ්‍ය අංශය සේ සැලකෙනවා. ඒ වගේම රටේ ජනගහනයෙන් සියයට දාහතකට එක් රාජ්‍ය නිලධාරියෙක් සිටිනවා. මේ නිසා රාජ්‍ය අංශය අමතක කොට අපේ ක්ෂේත්‍ර දියුණු කිරීමට වැඩපිළිවළල සකස් කිරීම විහිළුවක්. ඒ නිසා අනිවාර්යයෙන්ම රාජ්‍ය අංශයත් දායක කරගත යුතුයි. රාජ්‍ය අංශයේ සේවා කර්මාන්ත, ව්‍යවසායක ප්‍රජාවට වඩාත් මිත්‍රශීලී ප්‍රතිඵලදායී, කාර්යක්ෂම ආකාරයෙන් ලබා දීමට පියවර ගත යුතුයි. පෞද්ගලික අංශය ද රටේ ආර්ථිකයේ එන්ජිම යැයි කියමින් උදම් ඇනීමකින් තොරව කටයුතු කළ යුතුයි. අපත් රාජ්‍ය අංශයත් මීට වඩා ඒකාබද්ධව රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ නව ආයෝජන, නව කර්මාන්ත, නව සේවා ඇතිකිරීමට පියවර ගත යුතුමයි.

ඔවැනි සුන්දර කතා කොතෙකුත් තිබුණා. නමුත් ඉදිරියට පැමිණීමක් සිදු වී නැහැ?

ඔබ කියන කරුණෙහි අර්ධ සත්‍යයක් තිබෙනවා. මම එක උදාහරණයක් කියන්නම්. අපේ රටේ තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමට නොහැකි බවට විශාල මතයක් තිබුණා. ත්‍රස්තවාදය රණබිමේදී පරාජය කිරීමට විශාල හඬක් නැඟුණා. නමුත්, “අපි වෙනුවෙන් අපි” වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරමින් රටේ ඉහළ පහළ, ලොකු කුඩා සියලු දෙනාගේම උපරිම දායකත්වයෙන් යුද්ධය නිමා කිරීමට හැකි වුණා. ඒ ආකාරයටම අපි අලුත් වැඩක් කළ යුතුයි. බංකොළොත් රට ඉන් ගලවාගත යුතුයි.

අප කළ යුතු අලුත් වැඩපිළිවෙළ කුමක්ද ?

අපේ රට ආර්ථික වශයෙන් විශාල අර්බුදයකයි සිටින්නේ. මේ අර්බුදයෙන් ගොඩඒමට අප ණය ගැනීමෙන් පමණක්ම කළ හැකි යැයි සිතා සිටීම වැරැදියි. අප ජාතියක් ලෙස, රටක් ලෙස ගොඩනැඟීමට ශක්තිමත් ආර්ථිකයක් සකසා ගත යුතුයි. ඒ සඳහා කළ යුතු එකම සහ අලුත්ම වැඩපිළිවෙළ වන්නේ ව්‍යවසායක රාජ්‍යයක් ලෙස හැකි තරම් නව ව්‍යවසායකයින් රටේ ගොඩනැඟීමයි. මේ ආකාරයට කුඩා හා මධ්‍ය පරිමාණ පටන් මහා පරිමාණ දක්වා ශක්තිමත් ව්‍යවසායක ජාලයක් බිහි නොකර රටේ ආර්ථික ප්‍රශ්නයට තිරසාර විසඳුම් ලබා දිය නොහැකියි.

ව්‍යවසායක රාජ්‍යයක් බිහි කරමින් අපට ඉදිරියට යාමට හැකිනම් ඉන් මහජනතාවට අත්වන ප්‍රතිලාභ මොනවාද?

සියලු දෙනා රටේ ආර්ථිකයේ දියුණුවට දායකවීම වැදගත්. නිකරුණේ කාලය ගතනොකර අප කවුරුත් සුළුවට හෝ කෘෂිකාර්මික, කාර්මික හෝ සේවා අංශයක නියැළිය යුතුයි. මෙහිදී අප ලබාදෙන සේවය තුළින් ඉබේටම ව්‍යවසායකත්වයක් ගොඩනැඟෙනවා. ව්‍යවසායකත්වයක් ගොඩනැඟූ රටක බදු ගෙවීමේ හැකියාව වැඩිවෙනවා. ඒ තුළින් අප වැනි රටක පහළ රාජ්‍ය ආදායම් මට්ටම ඉහළට ඔසවා ගැනීමට හැකියාව ලැබෙනවා. බදු ගෙවීම කරදරයක් ලෙස නොව තමන්ගෙන් රටට ඉටුවිය යුතු යුතුකමක් ලෙස සලකා බදු ගෙවන තැනට මහජනතාවගේ මානසිකත්වය ගෙනා යුතුයි. බදු පදනම පුළුල්වීම සිදුවීම තුළ ඉහළ බදු අනුපාත අඩු කිරීමට පවා ඉඩකඩ ලැබෙනවා.

ආර්ථිකය සංකෝචනය කිරීමෙන් තොරව ආර්ථික ක්‍රියාකාරකම් වැඩිදියුණු කළ යුතු නොවේද?

ඔව්. ඒ සඳහා තමයි අප බලධාරීන් දැනුම්වත් කරන්නේ. රටේ ජනමතයක් ගොඩනැඟීමට පියවර ගන්නේ. ආර්ථිකය එකතැන පල්වී තිබේ නම් වේගවත් වර්ධනයක් සිදු නොවන්නේ නම් සැමදාම අපට දුකින් තමයි සිටින්නට වෙන්නේ. ඒ නිසා අප වහ වහා කළ යුත්තේ හැකි තරම් ආර්ථිකය පුළුල් වන ආර්ථික ක්‍රියාකාරකම් බහුල වන ආකාරයට ප්‍රතිපත්ති, තීන්දු තීරණ ගැනීමයි. ඒවා ක්‍රියාවට නැංවීමයි. එසේ සිදුවීම වේගවත් වන තරමට රටේ ආර්ථිකය බලගැන්වීමක් සිදු වේවි. අපේ උත්සාහය කුමන බාධක, අභියෝග මැද වුවත් දවසින් දවස පියවරින් පියවර හෝ තබා ව්‍යවසායක රාජ්‍යයක් ගොඩනැඟීමයි. පුරවැසියන් සියලු දෙනා ව්‍යවසායකයින් කළ නොහැකියි. නමුත් ව්‍යවසායකයින් පුරවැසියන්ගෙන් වෙනස් වන මානසිකත්වයක් ගොඩ නඟා අප රට ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතුමයි.

මෙවැනි යෝජනාවලින් ඔබට යම් පෞද්ගලික ලාභ අපේක්ෂාවක් වෙත්ද?

කිසිසේත්ම නැහැ. අපගේ අරමුණ අපට මඟහැරුණු තැන අපේ දරුවන්ට හිමි කර දීමයි. අනාගත පරපුර ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක උරුමකරුවන් බවට පත් කළ යුතුයි. අප කොවිඩ් වසංගතය, පාස්කු ඉරිදා ප්‍රහාරය, නියඟය, ඉන්ධන සහ විදුලිය, පෝළිම් යුග ජය ගෙන ඒවා නැවත ඇති නොවන තැනට කටයුතු කළ යුතුයි. එසේ කිරීමේදී අප ලෝකයේ අර්බුද ජයගෙන ඉදිරියට ආ රටවල් පිළිබඳව අධ්‍යයනය කර පාඩම් ඉගෙන ගත යුතුයි. අභියෝග ජයගන්නා ආකාරය වටහාගෙන, අවබෝධ කරගෙන ඉදිරියට යාමට කල්පනා කළ යුතුයි. කල්පනා කිරීමට පමණක් සීමා නොවී අභියෝග ජය ගැනීමට හැකි මානසිකත්වයක් ගොඩනඟා ගෙන ජයග්‍රහණය ලැබෙන තෙක් ඉදිරියටම යා යුතුයි. අධිෂ්ඨානය ජයග්‍රහණයම විය යුතුයි.

ඡායාරූපය – සුදත් නිශාන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT