ලොව එකම අධික අවුරුද්දේ පුවත්පත වන La Bougie du Sapeur වසර හතරකට පසු ඊයේ යළි නිකුත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රංශයේ පුවත්පත් කවුන්ටර වෙත ඊයේ නිකුත් කරනු ලැබූ ප්‍රංශ බසින් පළවන මේ උපහාසාත්මක සිවු වාර්ෂික පුවත්පතේ මෙවර පිටපත් ප්‍රමාණය ලක්ෂ දෙකකට වැඩි බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
සෑම වසර හතරකට වරක් උදාවන පෙබරවාරි 29 වැනිදා නිකුත් කෙරෙන La Bougie du Sapeur පළමුවරට එළිදක්වනු ලැබුවේ 1980 දී වන අතර, මෙවර නිකුත් වූයේ එහි 12 වැනි කලාපය බව ද සඳහන් වේ. පිටු 20කින් සමන්විත එම පුවත්පතේ මිල යුරෝ 4.90ක් බව ද වාර්තා වේ.
1980 දී නිකුත් කළ මංගල කලාපය දින දෙකකින් අලෙවි වී ඇති අතර, වැඩිපුර පිටපත් ඉල්ලූ අලෙවි නියෝජිතවරුන්ට එහි ප්‍රධාන කර්තෘ ජීන් ඩි ලන්ඩි ප්‍රකාශ කර ඇත්තේ වැඩිපුර පිටපත් ලබා ගැනීමට තවත් වසර 4ක් බලා සිටිය යුතු බවය. ජීන් ඩි ලන්ඩි ප්‍රංශයේ අශ්වාරෝහක ක්‍රීඩා සමාජයක නිලධාරියකු වන අතර, La Bougie du Sapeur නිකුත් කරනු ලබන්නේ විනෝදාස්වාදය සඳහා පමණක් බව ද සඳහන් කර තිබේ.
සිනහවට කැමැති පාඨකයන්ට පමණක් යැයි ලේබල්ගත කරමින් නිකුත් කරන මේ අපූරු පුවත්පතේ දේශපාලනය, ක්‍රීඩාව, ජාත්‍යන්තර කටයුතු, කලා, ප්‍රහේලිකා සහ ජනප්‍රිය ඕපාදූප ඇතුළත් බව ද වාර්තා වේ.