ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිල දී ගැනීමේ සිද්ධියකට අදාළව කටඋත්තරයක් ලබා දීමට ගිය තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කිසිදු සාධාරණ හේතුවක් නැතිව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම මඟින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (29) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100ක වන්දියක් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු සිය පෙත්සම මඟින් ඉල්ලා ඇත.
නීතිඥ සනත් විජේවර්ධන මහතා මඟින් ගොනුකර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කාර රඹුක්වැල්ල මහතා කියා සිටින්නේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙස ඉකුත් පෙබරවාරි මස 02 වැනිදා තමන්ට කැඳවීමක් ලැබුණු බවයි.
එහිදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් තමන්ව අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කළ බවත් පෙත්සම්කරු සඳහන් කළේය.
තමන්ව අත්අඩංගුවට ගෙන පොදු දේපොළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.
එමෙන්ම පොදු දේපොළ පනත යටතේ තමන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර රඹුක්වැල්ල මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.