Home » මොන ආණ්ඩුව බලයට ආවත් රටේ තරුණ ප්‍රශ්න දෙස සංවේදීව බැලීමේ ක්‍රමයක් ඕනෑ

මොන ආණ්ඩුව බලයට ආවත් රටේ තරුණ ප්‍රශ්න දෙස සංවේදීව බැලීමේ ක්‍රමයක් ඕනෑ

by mahesh
March 1, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

රටේ තරුණයන් දරාගත නොහැකි මානසික පීඩනයකට ලක්වී ඇති පසුබිමක, මොනයම් ආණ්ඩුවක් බලයට පැමිණියත් අපේ රටේ තරුණයන්ගේ ප්‍රශ්න දෙස සංවේදීව බැලිය හැකි ක්‍රමවේදයක් තිබිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

“මහා භාණ්ඩාගාරයේ ලේකම් සහ මහා බැංකුවේ අධිපති කිව්වා රට බංකොලොත් කියලා කිව්වේ නැහැ කියලා. දැන් මේ කාරණය සමාජගත වෙනකොට දවස් ගාණක් පාර්ලිමේන්තුවේ කෑගහපු සමහර පිරිස් කලබල වෙලා. දැන් කියනවා රට ණය ගොඩක හිර කරලා තිබුණේ මහින්ද රාජපක්ෂ යුගය කියලා. 2015 – 2019 යුගයේ ආණ්ඩුව කරපු ඒ යහපාලන නඩය රට කරපු විදිහ මතක් කරලා දෙන්න ඕන. මහින්ද රාජපක්ෂ මහතා 2015දී ජන වරමට හිස නමලා ගෙදර ගියා. 2014 ජූලි 09 වෙනිදා IMF එකෙන් කියනවා ශ්‍රී ලංකාව ආසියාවේ සංවර්ධනය වන රටවල් අතරින් ශීඝ්‍රයෙන්ම වර්ධනය වන රටවලින් එකක් බව. නමුත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනයකින් කියනවා 2019 විදේශ මූල්‍යකරණය අවදානම් තත්ත්වයකට පත් විය හැකි රටවල් අතරින් ශ්‍රී ලංකාව මුලට සිටිනවා කියලා.

යහපාලන ආණ්ඩුව කාලයේ සිටි ජර්මන් තානාපති කියනවා ඒ සමයේ ශ්‍රී ලංකාව කිසිඳු ආයෝජනයක් සඳහා සුදුසු නොවේ කියලා. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා රට භාර දෙනකොට ඒ අවුරුදු එකොළහේ ආර්ථික වර්ධනයේ සාමාන්‍ය වේගය 6.8%ක් තිබුණේ. මේ යහපාලන ආණ්ඩුව රට භාර දෙනකොට 3%ටත් අඩුවෙන් තිබුණේ. මේ යහපාලන නඩය කොහොමද රට කළේ කියලා තේරුම්ගන්න. යහපාලන නඩය එකතු වෙලා රටේ ආර්ථිකය හැකිළුවා. මෙය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තේරුම් අරගෙන තමයි දිරිගැන්වෙන සුළු බදු ප්‍රතිපත්තියකට යා යුතුයි කියන ස්ථාවරයකට ආවේ.

තව කාලයක් යනකොට මේ රටේ මහජනයාට තේරෙයි කවුද ඇත්ත කියන්නේ, කවුද බොරු කියන්නේ කියලා. අපේ රටේ විපක්ෂ නායකට කියන්නේ මේක අපෙත් රට. බෙදලා රටක් ගොඩදාන්න පුළුවන් නම් මේ රට ගොඩදාන්න තිබුණේ හාල් සේරු දෙක නොමිලේ දුන්න කාලයේ. බඩ කට පුරවලා නම්, මේ රට ගොඩදාන්න පුළුවන්කමක් නැහැ.

මේ රටේ මිනිස්සු නොමිලේ දෙන දේවල් පිළිබඳව හොඳ අවබෝධයෙන් කටයුතු කරන්නේ. තමන්ට වාසිදායකයි කියලා හිතන තැන්වලට ගිහිල්ලා කවුරුහරි දෙන බස් එකක් පාසලට භාර දීලා මේ කතා පවත්වන එක නතර කරන්න. මේ රටේ ඉගෙනගත්ත මිනිස්සු එක්ක තරහයි කියලා මම දන්නවා. හැබැයි මේ රටේ මිනිස්සු මෝඩයෝ කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ලොකු දෙයක් නොකර චම්පික රණවක මහතාට අභියෝගයක් කරන්න, ඔබට වෙනස් ක්‍රමයක් තිබෙනවා කියලා. වැඩිය ඉගෙන ගත්තේ නැති දරුවෝ ලක්ෂයකට රැකියා දෙන්න සැලසුම් කරලා තිස්අටදහසකට රැකියා දීපු එක ඇර, අඩු ගාණේ පුංචි පහේ රැකියාවක්වත් රට තුළ නිර්මාණය කරන්න අපිට තවම බැරි වුණා. අද අපිට තිබෙන බරපතළ ප්‍රශ්නය මේ තරුණ උගත් බුද්ධිමත් දරුවෝ අතර තිබෙන සේවා ව්‍යුක්තිය. මේ සංවේදී කාරණා අපි මීට වඩා වෙනස් විදිහකට දකින්න ඕන. ”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT