‘නාවික අඛණ්ඩ මුදා හැරීමේ සහතික පත්‍රය’ (C.D.C.) හිමි නාවිකයන් 50 දෙනකුට පළමු වරට වරායේ නාවික යාත්‍රාවල පුහුණුව ලබා දීමට පියවර ගෙන තිබේ.
මේ C.D.C. හිමි නාවිකයන් හට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ සමුද්‍රීය විද්‍යායතනය මඟින් පුරා සිව් මසක Deck Rating පාඨමාලාව සහ ඊට අදාළ කෙටිකාලීන පාඨමාලා 06ක් ලබා දීමෙන් අනතුරුව වරායේ නාවික යාත්‍රාවල ප්‍රායෝගික පුහුණුව සඳහා යොමු කර ඇත. ඒ අනුව ඔවුන් වරාය අධිකාරියේ ටග් යාත්‍රා 4ක සහ ඩ්‍රෙජර් යාත්‍රා 2ක මාස දෙකක පමණ කාලයක් පුහුණුව ලැබීමෙන් අනතුරුව Watch Keeping සහතිකය ලබා දීමට අමාත්‍යාංශය විසින් කටයුතු කරයි. මේ ප්‍රායෝගික පාඨමාලාවෙන් අනතුරුව ඒ නාවිකයන් හට විදේශීය නෞකාවල රැකියාවන් සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය සියලු සුදුසුකම් ලැබෙන බව වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය පවසයි.
මහපොළ සමුද්‍රීය විද්‍යායතනයේ පුහුණුව නිම කළ නාවිකයන් හට සහතික ප්‍රදානය කිරීම වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සිදු කළ අතර ඒ අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ්, උප සභාපති ගයාන් අලගේවත්ත මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. සහතික ලබා දීමෙන් අනතුරුව ඒ නාවිකයන් යාත්‍රාවල පුහුණුව සඳහා යොමු කෙරිණි.
මේ සහතිකපත් ලබා දීමෙන් අනතුරුව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ විදේශවල සිටින පුහුණු නාවිකයන් හට විශාල රැකියා අවස්ථාවන් තිබෙන බවත් එයට හේතු වී ඇත්තේ විදේශ නැව් සමාගම් සතුව විශාල නැව් ප්‍රමාණයක් තිබීම බවත්ය. නමුත් ශ්‍රී ලංකාවේ නැව් සංස්ථාව සතුව තිබෙන්නේ නැව් 02ක් පමණක් බව පැවසූ ඒ මහතා, ඒ නැව් සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ධජය යටතේ නැව් වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි කර ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද සඳහන් කරයි. ඒ සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා ගැනීමටද තමා කටයුතු කරන අතර ඒ නිසා පෙරේදා (28) ආරම්භ කරන ලද මේ ප්‍රායෝගික පුහුණුව මනා ලෙස නිම කරන ලෙසත්, එමඟින් ලබා ගන්නා දැනුම තුළින් නාවික ක්ෂේත්‍රයේ රැකියා ලබා ගැනීමට අවස්ථාවන් උදාවන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.