Home » ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ මාදෝවිට වජිරබුද්ධි නාහිමියෝ

ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ මාදෝවිට වජිරබුද්ධි නාහිමියෝ

by mahesh
March 1, 2024 1:00 am 0 comment

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ මාදෝවිට නම් වූ සුන්දර ග්‍රාමයේ විසූ සාම විනිසුරු එන්. එම්. ගුණසේකර සහ ටී. ඇම්. ලීලාවතී දම්පතීන් යුවළ තම මවුපියන් කර 1968.10.11 වැනි දින පින්වත් පුත් රුවනක් මෙලොව ජන්මලාභය ලැබීය. සහෝදරියන් තිදෙනෙකු සහ සහෝදරයකු සමඟ කෙළිදෙළෙන් වැඩුණු මේ කුමරුවා කුඩා කල සිටම ආගම දහමට ලැදි ධර්මානුකූල ශික්ෂණයෙන් යුක්ත වන්නට විය. මාදෝවිට ශ්‍රී විජයාරාම විහාරස්ථානයෙන් අධ්‍යාපනය ලද උන්වහන්සේ ළමා වියේ මාදෝවිට විද්‍යාලයෙන් සහ මාදෝවිට බෝගහකුඹුර විද්‍යාලයෙන් සිප් සතර හදාරා පසළොස් විය පිරෙද්දී පිරිය යුතු බණ දහම් වත්පිළිවෙත් පූර්ණ කරමින් 1983. 01.13 වැනි දින පුරාකෘත පුණ්‍ය බල මහිමයෙන් මාදෝවිට වජිරබුද්ධි නමින් උතුම් වූ ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත්ව වැලිමඩ බිබිලගමුව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ වැඩවසන්නට විය. පසුව 1986 අගභාගයේදී තම ඥාතිවර මාදෝවිට පඤ්ඤාකිත්ති නායක හිමිපාණන් වහන්සේගේ ආශීර්වාදයෙන් වජිරබුද්ධි සාමණේර හිමියන් හෝමාගම පුරාණ විහාරස්ථානයට වැඩම කරවන ලදී. එහිදී මූලික පිරිවෙන් අධ්‍යාපනය සඳහා අගලවත්ත බෙල්ලන ධර්ම විද්‍යාලයට සහ ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙනට ඇතුළත්වී උගත මනා බණ දහම් ප්‍රගුණ කර ශාස්ත්‍රීයව දැන උගත් පඬිරුවනක් වන්නට විය.

උපසම්පදා කළ යුතු වයස පූර්ණ වීමෙන් 1990. 06. 29 වැනි දින උන්වහන්සේගේ අධිශීල සම්පන්න උපසම්පදා විනය කර්මය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ රාජමහා විහාර සීමා මාලකයේදී සිදු කරන ලදී. ධර්මධර විනයධර්මචාරි වූ ආචාර්ය වහන්සේලා නිශ්‍රයාශ්‍රය ලබමින් ශ්‍රේෂ්ඨ ගුරු දේවෝත්තමයාණන් වහන්සේලාගෙන් ගුරුහරුකම් ගැනීමට උන්වහන්සේ භාග්‍යවන්ත වූහ. ඌව මහා දිසාවේ උප ප්‍රධාන සංඝනායක සාහිත්‍යාචාර්ය පණ්ඩිත රත්කරව්වේ මේධානන්ද නාහිමි, හෝමාගම පුරාණ විහාරාධිපති සීනාදි සිවු කෝරලයේ ප්‍රධාන සංඝ නායක මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමි, කලටුවාවත්ත පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පෝරේ සුමන සිරි නාහිමි, පෝරේ ශ්‍රී මහා විහාරාධිපති රුක්මලේ ධම්මකිත්ති නාහිමි වැනි වියත් බහුශ්‍රැත යතිවරයාණන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් අවවාද අනුශාසනා, මඟපෙන්වීම සහ ආශිර්වාදය හිමි වන්නට විය.

පැවිදි ජීවිතය ශෝභාමත් කරමින් අධ්‍යාපන කටයුතු ද සාර්ථකව ඉටු කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය ද, කැලණි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ගත් උන්වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ද ගත්තේය.

1998දී පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනෙහි උප ගුරුවරයකු වශයෙන් සේවයට බැඳුණු උන්වහන්සේ 2000දී එම පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේණාධිපති ධුරයට පත් වූහ. අනතුරුව 2010 වසරේ සිට සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පිරිවෙන් ධුරය දරමින් එතැන් සිට ඌව පළාත, අම්පාර, ගම්පහ, ගාල්ල, කොළඹ ආදී විවිධ පළාත්වල පිරිවෙන් රාජකාරි ඉටු කළහ.

සංඝ ශෝභන ගුණ සමුදායෙන් සමූපේතව උන්වහන්සේ 1986 සිට මේ දක්වා වසර 38ක පමණ කාලයක් හෝමාගම පුරාණ විහාරස්ථානයේ වැඩවසමින් මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමියන් අනුදත් යුග මෙහෙවර ඉදිරියට ගෙන යමින් සතරපේරුවේ දායකකාරකාදීන්ගේ ගෞරව ප්‍රසාදය ගනිමින් සිදු කරන ලද විහාර සංවර්ධනය හා ශාසනික මෙහෙවර ගෞරව සම්ප්‍රයුක්තව සිහිපත් කරමු. හෝමාගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, හෝමාගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ කාරක සංඝ සභික, ධර්මපාල පරෝපකාර සමිතියේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ ජාතික මණ්ඩල සභික හා කොළඹ දිස්ත්‍රික් සභාපති පුරාණ විහාරස්ථ සමාජ සංවර්ධන පදනමේ සභාපති වැනි තනතුරු ගණනාවක් හොබවමින් සිදු කරන්නා වූ ආගමික, ශාසනික, සංස්කෘතික, සමාජයීය අමිල යුග මෙහෙවර හා උභය ලෝකාර්ථ චර්යාව ප්‍රශංසනීය වේ.

අධ්‍යාපනික මෙන්ම ධර්ම ගවේෂණ සඳහා වැඩමුළු, සම්මන්ත්‍රණ, දේශන සහ ධර්ම ප්‍රචාරක කටයුතුවලට සහභාගිවීමට ඉන්දියාව, තායිලන්තය, බුරුමය, මැලේසියාව, තායිවානය, ජපානය, සිංගප්පූරුව, අමෙරිකාව, කොරියාව, මැදපෙරදිග, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්විස්ටර්ලන්තය ආදී විවිධ විදේශ රටවල සංචාරය කර ඇති වජිරබුද්ධි නාහිමිපාණන් අවිච්ඡින්නව සහ සසුන ශෝභාවත් කළ භික්ෂු පරපුරකින් පැවතෙමින් පුරාණ විහාරස්ථ පුණ්‍යභූමියේ අභිවෘද්ධිය වර්ධනය ද, සිවුවණක් පිරිස යහමඟෙහි අවතීර්ණ කරමින් ද අගති විරහිත ශ්‍රමණ ආකල්පවලින් යුතුව ඉෂ්ට සිද්ධ කරගන්නා වූ පුද්ගලාභිවෘද්ධිය මෙන්ම විහාරස්ථානයේ ශීල භාවනා වැඩසටහන් තුළින් බෞද්ධ ජනතාවගේ සිත් තුළ ආධ්‍යාත්මික දියුණුව ඇති කරලීමට ද ගන්නා ශාසනික මෙහෙවර ප්‍රශංසාර්හ වේ.

ජාතික, ආගමික, සමාජයීය, පරහිත සාධන සද්ව්‍යාපාර වෙනුවෙන් ගෞරවාන්විතයට ප්‍රමෝදය පළ කරමින් භික්ෂු චර්යාවේ සාම්ප්‍රදායික උරුමයන් සහ වගකීම්වලට අනුගතව සුසමාදර්ශී භික්ෂු පරපුරක් බිහිකරලීමෙන් අනතිමානීව අධිෂ්ඨානශීලීව සිදු කරන්නා වූ සුවිශේෂ අමිල මෙහෙවර වන්දනීයව සිහිපත් කරමින් හේවාගම් කෝරලයේ ප්‍රධාන සංඝනායක ලෙස පදවි ප්‍රාප්තියට පත් අති ගෞරවාන්විත මාදෝවිට වජිරබුද්ධි නාහිමිපාණන් වහන්සේට සසුන් කෙත අස්වැද්දීමට චිරාත් කාලයක් ආයු, ප්‍රඥා බලමහිමය හේතු වාසනා වේවායි ආශිංසනය කරමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT