Home » විභාගයට නොගෙනම නිෂ්ප්‍රභයි
ඔන්ලයින් පනත සම්මත කළාට එරෙහි සුමන්තිරන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම

විභාගයට නොගෙනම නිෂ්ප්‍රභයි

පාර්ලිමේන්තුවේ කටයුතුවලට මැදිහත්වීමට කිසිම උසාවියකට බලයක් නෑ - සභාපති විනිසුරු කියයි

by mahesh
March 1, 2024 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

ඔන්ලයින් පනත හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සරල බහුතර ඡන්දයෙන් සම්මත කර කථානායකවරයා ඊට අත්සන් තැබීමට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ.සුමන්තිරන් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29) තීරණය කළේය.

මෙම පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නීතිපති සංජේ රාජරත්නම් මහතා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන ලදි.

එම පෙත්සම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ මූලික කරුණු සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා සහ ඊට අදාළ කරුණු පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශ කරමින් මෙම පෙත්සම ඉවත දමන ලදි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගේ එකඟත්වයෙන් යුත් නඩු තීන්දුව විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා විසින් ප්‍රකාශ කරන ලදි.

පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද ප්‍රකාරව පාර්ලිමේන්තුව විසින් සිදු කරන ඕනෑම කටයුත්තකට කිසිඳු ආකාරයකටම මැදිහත් වීමට කිසිඳු අධිකරණයකට හැකියාවක් නොමැති බව එම තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.

එකී වරප්‍රසාද පනත අනුව පාර්ලිමේන්තුවේ කටයුතුවලට මැදිහත්වීමෙන් ඕනෑම අධිකරණයක් වළක්වා ඇති බව ද තීන්දුවෙහි සඳහන් වේ.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායකවරයා යම් පනතකට හෝ ලියවිල්ලකට අස්සන් තැබීමෙන් අනතුරුව එය කිසිඳු අධිකරණයක ප්‍රශ්න කළ නොහැකි බවට මෙම නඩු තීන්දුවෙහි දැක් වේ.

ඒ බව හිටපු අග විනිසුරු එස්. ෂර්වානන්ද මහතා ප්‍රමුඛ පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් ප්‍රකාශිත නඩු තීන්දුවක් මඟින් තහවුරු කර ඇති බවද මෙම තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා සඳහන් කළේය.

එසේම පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමකදී කථානායකවරයාගේ තනතුර අවසන් නොවන අතර එම වාර අවසාන කර ඇති කාලය තුළ ද ඔහු අඛණ්ඩව එම තනතුරේ කටයුතු කරන බවට සිය මූලික විරෝධතා මඟින් නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු පිළිගැනීමට විනිසුරු මඬුල්ල විසින් තීරණය කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුව වාර අවසාන කර ඇති අවස්ථාවක ඔන්ලයින් පනත හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකවරයා විසින් අත්සන් තැබීම නීති විරෝධී බවට පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු පිළිගත නොහැකි බව මෙම නඩු තීන්දුවේ සඳහන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන සහ හතර වගන්ති මඟින් සහතික කර ඇති ජනතා පරමාධිපත්‍යය සහ ස්වෛරීභාවය ජනතා නියෝජිතයන් හරහා පාර්ලිමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන බවද නඩු තීන්දුව මඟින් පෙන්වා දී ඇත.

පාර්ලිමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන එම ජනතා ස්වාධිපත්‍යයට සහ ස්වෛරීභාවයට මැදිහත්වීමට කිසිඳු අධිකරණයට නොහැකි බව ද මෙම තීන්දුව මඟින් පෙන්වා දී තිබේ.

එබැවින් මෙම පනත් කෙටුම්පත සම්මත කළ ආකාරය සහ ඊට කථානායකවරයා විසින් අත්සන් තැබීම අභියෝගයට ලක් කරමින් ගොනුකළ මෙම පෙත්සම විභාගයට ගැනීමට පදනමක් නොමැති බව විනිසුරුමඬුල්ල විසින් තීරණය කර තිබේ.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් අභියෝගයට ලක් කළ හැක්කේ විධායක හෝ පරිපාලන ක්‍රියාවක් බව ද පෙත්සම් මඟින් අභියෝගයට ලක් කර ඇති කරුණු විධායක හෝ පරිපාලන ක්‍රියාවක් යටතට නොගැනෙන බවට නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු විනිසුරු මඬුල්ල විසින් පිළිගනු ලැබ තිබේ.

එම කරුණු ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් මඟින් මීට පෙර ප්‍රකාශයට පත්කර ඇති බව ද විනිසුරු මඬුල්ල සිය තීන්දුව මඟින් පෙන්වා දී තිබේ.

මෙරට ජනතාවගේ ස්වාධිපත්‍ය බලය පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක වන බව ඔහු පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තුව තුළ සිදු වන දෙයක් පිළිබඳව ඉන් පිටත පැමිණිලි කිරීමට හෝ අභියෝගයට ලක් කිරීමට කිසිවකුට නොහැකි බව ඒ මහතා කීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටිමින් මෙම පෙත්සම ඉදිරිපත් කර පෙත්සම්කරු වරදක් කර ඇති බව නීතිපතිවරයා පෙත්සම් විභාගයේදී පෙන්වා දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 විධිවිධානය අනුව පාර්ලිමේන්තුවේ කටයුතු අධිකරණයක් හමුවේ අභියෝගයට ලක් කිරීමට හෝ එවැනි පැමිණිල්ලක් විභාගයට ගැනීමට කිසිදු අධිකරණයකට බලයක් නැති බව ද ඒ මහතා සඳහන් කළේය.

එසේම අදාළ පනත පාර්ලිමේන්තුව හමුවේ නිසි ලෙස විවාදයට ගෙන සම්මත වූ බව නීතිපතිවරයා පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යමක් ප්‍රශ්න කිරීමට අධිකරණයට නොහැකි බව ද ඒ මහතා සඳහන් කළේය.

එසේම මෙම පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය කථානායකවරයා පමණක් සතු වන බව ඔහු පෙන්වා දුන්නේය.

අදාළ පනත් කෙටුම්පත සම්මත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුකූලව එය සම්මත කළ බව ද නීතිපතිවරයා සඳහන් කළේය.

එවැන්නක් අභියෝගයට ලක් කළ පෙත්සමක් සලකා බැලීමට කිසිදු අධිකරණයකට නොහැකි බව ද නීතිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු හමුවේ නිසි ලෙස විවාදයට ගත් බවත් ඡන්ද විමසීම සිදු කළ බවත් ඒ මහතා කීය. ව්‍යවස්ථාදායක ක්‍රියාවලියේ කොටසක් බව නීතිපතිවරයා සඳහන් කළේය. එම ක්‍රියාවලිය විධායක හෝ පරිපාලන ක්‍රියාවක් ලෙස සලකමින් පෙත්සම්කරු ඉදිරිපත් කරන ලද කරුණු පිළිගත නොහැකි බව ඒ මහතා කීය.

පාර්ලිමේන්තු වාර අවසාන කළ අවස්ථාවකදී කථානායකවරයාගේ බලය එලෙසම ක්‍රියාත්මක වන බව නීතිපතිවරයා පෙන්වා දුන්නේය. කථානායකවරයාට එම බලය අහිමි වන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ලැබූ අවස්ථාවේදී පමණක් බව ඒ මහතා කීය.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට පෙර අදාළ පනත් කෙටුම්පත නිසි ලෙස විවාදයට ලක් කර ඡන්ද විමසීම මගින් සම්මත වූ බව ඔහු සඳහන් කළේය.

මූලික විරෝධතා පිළිගෙන මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටි නීතිපතිවරයා සඳහන් කළේ එසේ නොකළ හොත් කථානායකවරයාගේ සෑම ක්‍රියාවක්ම අභියෝගයට ලක් කරමින් මෙවැනි පෙත්සම් ඉදිරිපත් කළ හැකි බව ය.

එම මූලික විරෝධතා පිළිගැනීමට තීරණය කළ බව මෙම තීන්දුවෙහි සඳහන් වේ. මෙම පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කරන බව ද මෙම නඩු තීන්දුවේ සඳහන් වේ.

පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය.

වගඋත්තරකාර කථානායකවරයා වෙනුවෙන් නීතිපති සංජේ රාජරත්නම් මහතා පෙනී සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT