– සැකය තහවුරු නම් සෞඛ්‍ය අතිරේක ලේකම්ටත් වැඩ වරදී
– ගියවර කෙහෙළිය අධිකරණයට නොගෙනෙන්න ඉදිරිපත් කළ බන්ධනාගාර වෛද්‍ය වාර්තාවත් බොරුවක්
– රට පැන්න දොස්තර අල්ලන්නත් ඉන්ටපෝල් හරහා රතු වරෙන්තුවක්
මෙම සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරුවන් කිහිපදෙනකු ගැන විමර්ශන වාර්ථා අනුව නිරීක්ෂණය වන බවත් ඔවුන් අත්අඩංගුවට නොගෙන වෙන වෙන අය ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය, එම සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.
එමෙන්ම මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සියලු සැකකරුවන් සම්බන්ධයෙන් වන ඇප නියෝගය එදිනට ප්‍රකාශයට පත් කරන බව ද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.
ප්‍රශ්නගත ඖෂධ මිල දී ගැනීම් සඳහා පත් කළ තාක්ෂණික කමිටුවට සහභාගි වූ වෛද්‍ය ජයනාත් බුත්පිටිය යන මෙම නඩුවේ 09 වැනි සැකකරු ලෙස නම් කළ අධිකරණය, මේ වන විට විදෙස්ගතව සිටින එම සැකකරු ජාත්‍යන්තර පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තුවක් ද නිකුත් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වන ලෙසට දැනුම් දී තිබූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක යන අය සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 109 වගන්තිය ප්‍රකාරව සැකකාර භාවය ඔප්පු වන්නේ නම්, වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති බව මෙහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.
එසේම, මෙහි විමර්ශන අවස්ථාවේදී කියැවෙන සමන් රත්නායක යන අය සහ විජිත් ගුණසේකර යන අයවලුන් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කර ඔවුන් මෙම නඩුවේ සාක්ෂිකරුවන් ද නැතහොත් සැකකරුවන් ද යන්න සම්බන්ධයෙන් වහාම අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සම්බන්ධයෙන් වරද කුමන්ත්‍රණය කළ බවට වන කරුණු පැමිණිල්ලෙන් ඉදිරිපත් කර නැති බව ද සඳහන් කළ අධිකරණය ඉදිරි දිනයේදී ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසට නියම කළාය.
මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉකුත් නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් නොකර සිටීමට අදාළව බන්ධනාගාර රෝහලෙන් ලබා දී තිබූ වෛද්‍ය වාර්ථාව අසත්‍ය එකක් බවට හෙළි වී ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ල්කමිණී ගිරිහාගම මෙනෙවිය අධිකරණයට දැනුම් දුන්නාය.
ඒ මහතාගේ අසනීප තත්ත්වය සම්බන්ධයෙන් පත්කළ විශේෂඥ සත්පුද්ගල වෛද්‍ය මණ්ඩලය ඒ සම්බන්ධයෙන් ලබාදුන් වාර්තාවලට අනුව එය පැහැදිලි වන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළාය. ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලෝබියුලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (29) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.
මෙම සිද්ධියට අදාළ සැකකරුවන් ලෙස හිටපු සෞඛ්‍ය, පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත යන මහත්වරුන් ඇතුළු සැකකරුවන් 8 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නම් කර ඇති අතර මේ වන විට ඉන් හත් දෙනකු රක්ෂිත භාරයේ පසුවෙයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරුවන් ලබන 14 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර එදින තෙක් නඩුව කල් තැබීය.