“මැතිවරණයක් පවත්වව්, ආණ්ඩුවක් ලබා දියව්” යැයි පවසන සියලුම දෙනා ආණ්ඩුවක් ගත්තොත් එය එදිනෙදා පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් හොයන හැටි සංඛ්‍යා දත්ත සහිතව රටට කිව යුතුයි
– අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන
රුපියල් කෝටි දෙදහසක වියදමින් රට පුරා මාර්ග කිලෝමීටර 1500ක් ප්‍රතිසැකසීමේ ව්‍යාපෘතිය සමාරම්භ කරමින් කහතුඩුව වෙනිවැල්කොළ පාසල් මාවතේ සංවර්ධන කටයුතු ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
පසුගිය වසර කිහිපයක් තුළ කොවිඩ් – 19 වසංගතය නිසාත් ආර්ථික අර්බුදය නිසාත් මෙරට මාර්ග පද්ධතිය බරපතළ ලෙස අබලන් වී තිබීම සහ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් සිදු වූ නාය යෑම් හා ගංවතුර තත්ත්වයන් නිසා විනාශ වූ මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමත් මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ජාතික ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ කිලෝමීටර 500ක් ප්‍රතිසැකසීමේ කටයුතු මෙලෙස ආරම්භ වූ අතර, මාර්තු 16 වැනිදා එහි දෙවැනි අදියර ලෙස තවත් කිලෝමීටර 500ක් හා අප්‍රේල් 02 වැනිදා තෙවැනි අදියර ලෙස තවත් කිලෝමීටර 500ක් කාපට් යොදා ප්‍රතිසැකසුම් කිරීමේ කටයුතු ඇරඹීමට නියමිත වේ.
මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“කොවිඩ් අර්බුදය හේතුවෙන් රට වසා තැබීමත් ආර්ථික අර්බුදය උත්සන්න වීමත්, ආර්ථිකය ඍණ අගයක් ගැනීමත් හේතුවෙන් පසුගිය වසර තුනක කාලය තුල මාර්ග, අධිවේගී මාර්ග ඇතුළු මං මාවත් හි ඉදිකිරීම් මුළුමනින්ම නතර කිරීමට සිදුවිය. විදෙස් ණය නැවත නොගෙවීම හේතුවෙන් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අනෙකුත් රටවල්වලින් පාලම්, මං මාවත් ආදී සියල්ල වෙනුවෙන් ණය ලබාදීම අත්හිටුවා ඇත. මෙවන් තත්ත්වයක් තුළ රට පුරා මාර්ග කිලෝමීටර් 1500ක් ප්‍රතිසංස්කරණය සඳහා 2024 අය-වැය ප්‍රතිපාදන යටතේ ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුපියල් කෝටි දෙදහසකට අධික මුදලක් වෙන්කර දී තිබෙන්නේද ශ්‍රී ලංකා රජය ලබා ගන්නා ණය මුදල් මගින් වේ. කවරකු රටේ ජනාධිපති ධුරයට පත්වුවත්, කවර පක්ෂයක් ආණ්ඩු බලය හිමිකර ගත්තත් ඉතිහාසය පුරාවටම මං මාවත්, විදුලිය, ජල සම්පාදන, වාරිමාර්ග, බලාගර, සෞඛ්‍ය පහසුකම් ඇතුළු යටිතල පහසුකම්, දුම්රිය, බස් රථ, අනෙකුත් යන්ත්‍ර සූත්‍ර උපකරණ ආදී සියලු වියදම්, ප්‍රාග්ධන වියදම් දරා ඇත්තේ දේශීය හා විදේශීය වශයෙන් ණය ලබා ගැනීම තුළිනි.
ජනතා විමුක්ති පෙරමුණ, වාම වාදී දේශපාලන පක්ෂ සහ අරගලකරුවන්ට රට තුළ සිටින උගතුන් බුද්ධිමතුන් මහාචාර්යවරුන්, ආචාර්යවරුන් ඇතුළු විද්වතුන් පහදා දිය යුතු සරල, ප්‍රයෝගික, සත්‍ය වන්නේ කවරකු විසින් ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය හෙබ වුවත් රජය එදිනෙදා පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බවයි.
2022 වර්ෂයේ ඍජු හා වක්‍ර බදු මඟින් ලබාගත් මුළු ආදායම බිලියන 1751යි. එයින් බිලියන 1265ක් එනම් 72% වැය වී ඇත්තේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම සඳහායි. බිලියන 506ක් සමෘද්ධි, අස්වැසුම ඇතුළු සහනාධාර සඳහා වැය කර තිබෙනවා. එය බදු ආදායමෙන් 28%ක්. සමහර නූගත් මිනිසුන් රජය මෙතරම් බදු ප්‍රමාණයක් අයකරන්නේ ඇයිද යන්න විමසනවා. ඊට ලබා දිය හැකි කෙටිම පිළිතුර වන්නේ රජය බදු අය කරන්නේ රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමටත්, සහනාධාර ලබාදීමටත්, කුටුම්භ පැවරුම්, පොලී ගෙවීම්, ආදී එදිනෙදා වියදම් පියවා ගැනීමටයි. තවත් උදාහරණයක් ලෙස 2013 වසරේ ශ්‍රී ලංකා රජයේ බදු සහ බදු නොවන සියලු ආදායම්, කුලී, පොලී, ලාභ, ලාභාංශ, ප්‍රදාන ආදී සියලු මාර්ගයන්ගෙන් ලැබීම් ට්‍රිලියන තුනක් පමණ වේ. එම වසරේ රජය එදිනෙදා පවත්වාගෙන යෑමේ වියදම් ට්‍රිලියන හතරකට මදක් වැඩි ප්‍රමාණයක් වෙයි.” මැතිවරණයක් පවත්වා, ආණ්ඩුවක් ලබා දියව්” යැයි පවසන සියලුම දෙනා ආණ්ඩුවක් බලය ලබා ගතහොත් එය එදිනෙදා පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් උපයා ගන්නා ආකාරය සංඛ්‍යා ලේඛන, දත්ත සහිතව රටට ප්‍රකාශ කළ යුතුයි. එවැනි සංඛ්‍යා දත්ත සහිතව පැහැදිලි කර නොහැකි කෙනකුට ආණ්ඩුවක් තබා ප්‍රාදේශීය සභාවක් හෝ පාලනය කළ නොහැකි බව සියලු දෙනා විසින් තේරුම් ගත යුතුයි.
මෙලෙස අප මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ ඉතාමත් දරුණු මූල්‍ය අර්බුදයක් සහිත අවස්ථාවකට බව ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු අනෙකුත් පූජ්‍ය පක්ෂය රටට, ජනතාවට පැහැදිලි කළ දිය යුතුවේ. නැතහොත් කිසිවක් තේරුම් ගත නොහැකි අසරණ දිළිඳු ජනතාව ප්‍රචණ්ඩත්වයේ මාවත තෝරා ගනිමින් සියල්ල විනාශ කර දමනු ඇත. ”
දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සභාපතිවරුන් විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ඇත.
අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු මෙම සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රධානව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රද්ධා වීරකෝන් මහතා, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී චින්තක මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරු, ප්‍රදේශයේ මහජන නියෝජිතයන්, ප්‍රදේශවාසින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.