Home » ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීමට කැප වෙනවා

ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීමට කැප වෙනවා

ඉන්දීය සාගර ආරක්ෂක සමුළුවේ ප්‍රධාන දේශනයේදී ජනපති කියයි

by mahesh
March 1, 2024 1:00 am 0 comment

ශිරෝමි අබයසිංහ

ඉන්දියන් සාගර කලාපයට මේ වෙද්දී නැඟී එන ආර්ථිකයක් හිමියි:

ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

නාවික නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන කැපවීම හේතුවෙන් රතු මුහුදේ මෙහෙයුම් සඳහා දායක වීමට ශ්‍රී ලංකාව තීරණය කළ බව පැවසූ ජනාධිපතිවරයා සය දින යුද්ධය නිසා වසර දහයක් තිස්සේ සූවස් ඇළ වසා දැමීම, කොළඹ වරායට අහිතකර ලෙස බලපෑ බව සිහිපත් කළේය.

එබැවින් සීමාවලින් තොරව නාවික කටයුතු සහතික කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඉන්දියානු සාගර ආරක්ෂක සමුළුවේ ප්‍රධාන දේශනය කරමිනි.‍

පාත්ෆයින්ඩර් පදනම සංවිධාන කරන ඉන්දියානු සාගර ආරක්ෂක සමුළුවේ තුන්වන අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පෙරේදා (28) ආරම්භ විය.

ගෝලීය ආරක්ෂාව සහ සැපයුම් දාමයේ ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි කලාපයේ බලපෑම අවධාරණය කරමින්, ඉන්දියානු සාගරයේ වැදගත්කම සලකා බැලෙන මේ දෙදින සමුළුවට රටවල් ගණනාවකින් නියෝජිතයෝ එක්ව සිටිති.

මෙහිදී වැඩිදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

ශ්‍රී ලංකාවේ මෙන්ම කලාපීය සහ ගෝලීය වශයෙන් අප සැමට මුහුණදීමට සිදුව ඇති ප්‍රධාන ප්‍රශ්නවලින් එකක් ආමන්ත්‍රණය කිරීමට පාත්ෆයින්ඩර් පදනම සමඟ මේ අවස්ථාවට එක්වීමට ලැබීම සතුටට කරුණක් බව කිව යුතුයි.

මේ සැසිවාරය සංවිධාන කිරීම පිළිබඳවත් මේ කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දක්වන අඛණ්ඩ උනන්දුව පිළිබඳවත් මිලින්ද මොරගොඩ මහතාට ද ප්‍රශංසා කළ යුතුයි.

ඉන්දියන් සාගරය, එක් තීරයක් එක් මාවතක් වැඩසටහනේ හෝ ඉන්දු-පැසිෆික් වැඩසටහනේ කොටසක් ලෙස සැලකිය නොහැකියි. ඉන්දියන් සාගරය මේ වන විට ලෝකයේ උපායමාර්ගික භූ දේශපාලන කලාපයක් බවට පත්ව තිබෙනවා. එය සිදු වූයේ පසුගිය වසර පහ හයක කාලයේයි. මේ වන විට සිදු වී ඇති සිදුවීම්වලින් ඒ බව අපට සනාථ කර තිබෙනවා.

ඒ වගේම ඉන්දියාව ලොව විශාලම ආර්ථිකයක් බවට පත්වීමට නියමිතයි. ඒ වගේම ඉන්දියානු වෙළෙඳපොළ 21 වැනි සියවස අවසානය දක්වාම පුළුල් වෙනවා. එය සියලු දෙනා පිළිගෙන තිබෙන දෙයක්. ඉන්දුනීසියාවත් විශාල ආර්ථික දියුණුවක් කරා ගමන් කරමින් සිටිනවා.

ඉන්දියන් සාගර කලාපය මේ වන විට නැඟී එන ආර්ථිකයක් බවට පත්ව තිබෙනවා. මේ තත්ත්වය තුළ බල එදිරිවාදිකම්වලින් තොරව ඉන්දියන් සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීමට උපායමාර්ගික ස්ථාවරත්වයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටිනවා.

රතු මුහුදේ මෙහෙයුම් සඳහා දායක වීමටද ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා. මොකද මේ වන විට දක්නට ඇති ආකාරයට මෙහෙයුම් පිරිවැය ඉහළයෑම නිසා අපට සූවස් ඇළ හරහා නාවික ගමනාගමනයේ නිදහස පැවතීම වැදගත්. සය දින යුද්ධය හේතුවෙන් සූවස් ඇළ වසා දැමූ අවස්ථාවේ වසර දහයක් කොළඹ වරාය පීඩාවට පත් වුණා. ඒ නිසා නාවික ගමනාගමනයේ නිදහස පවතින බවට අප සහතික විය යුතුයි.

පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ, අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලී චන්ග්, නිරිතදිග ආසියානු කටයුතු පිළිබඳ ජපානයේ නියෝජ්‍ය සහකාර ඇමැති හයාෂි මාකෝටෝ, පාත්ෆයින්ඩර් ඉන්දියානු සාගර ආරක්ෂක සමුළුවේ සම සභාපතිවරුන් වන බර්නාඩ් ගුණතිලක, ෂිව්ශංකර් මෙනන් මහත්වරුන් සහ මහකොමසාරිස්වරු, තානාපතිවරු, අමාත්‍යාංශ නිලධාරීහු, ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඇතුළු දෙස් විදෙස් නියෝජිතයන් රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT