නීතිඥ වෘත්තියට අවමාන සහ අගෞරවයක් වන ආකාරයට අධිකරණය ඉදිරියේ කටයුතු කළ බවට ඉදිරිපත් වූ චෝදනාවට විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා වැරදිකරු බවට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ මහතාගේ නීතිඥභාවය අහෝසි කිරීමට ඊයේ (29) තීන්දු කළේය.
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් පිළිබඳ පූර්ණ විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව ඒ පිළිබඳ තීන්දුව ප්‍රකාශ කරමින් මෙලෙස නීතිඥභාවය අහෝසි කරන ලදි.
ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරෙයි රාජා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
අධිකරණය හමුවේදී අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරුවරුන්ගේ ගෞරවයට සහ නීතිඥ වෘත්තීයභාවයට හානි කර ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පැමිණිල්ල ගොනු කර තිබිණි.
එමඟින් ඉදිරිපත් වූ චෝදනා පිළිබඳ දීර්ඝ විභාගයක් සිදු කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ මෙම ක්‍රියාව මඟින් වගඋත්තරකාර නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා නීතිඥ වෘත්තියට අවමන්සහගත ලෙස කටයුතු කර තිබෙන බව තහවුරු වන බවය. මෙවැනි අවමන්සහගත හැසිරීම් සම්බන්ධයෙන් මීට පෙර ද ඔහුට චෝදනා එල්ල වූ අතර එහිදී එක් අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර කිහිපයකට ඔහුගේ නීතිඥභාවය අහෝසි කරන ලදි. මෙම තීන්දුව ප්‍රකාශ කරමින් ඒ බව විනිසුරු මඬුල්ල සිහිපත් කළේය.
අධිකරණය ඉදිරියේ කටයුතු කිරීමේදී ඔහු නීතිඥවරයකුට නුසුදුසු ලෙස කටයුතු කර ඇති බවට විනිසුරු මඬුල්ල විසින් තීරණය කර තිබේ. ඒ අනුව වගඋත්තරකාර නාගානන්ද කොඩිතුවක්කු මහතා අදාළ චෝදනාවලට වරදකරු කරන බවට විනිසුරු මඬුල්ල නිගමනය කළේය. ඔහු විසින් සිදුකර තිබෙන ක්‍රියාවේ බරපතළභාවය සැලකිල්ලට ගෙන ඔහු නීතිඥ වෘත්තියෙන් ඉවත් කිරීමට නියෝග කෙරිණ.