එච්.අයි.වී. නව ආසාදිතයන්ගේ වාර්තා වීම සියයට 14.3කින් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කරයි.
2022 වසරට සාපේක්‍ෂව 2023 වසරේදී මෙම ඉහළ යෑම සිදුව ඇති බව එහි අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පැවැසුවාය.
පසුගිය වසරේදී එච්.අයි.වී. ආසාදිතයන් 694ක් අලුතින් හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිදෙනකු පිරිමි පුද්ගලයන් වන අතර එම සංඛ්‍යාව 611ක් බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 88ක් බවත් ඇය ප්‍රකාශ කළාය.
පසුගිය වසරේ එච්.අයි.වී. ආසාදිත කාන්තාවන් 81ක් වාර්තා වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 11.7ක් වේ. එච්.අයි.වී. ආසාදිතයන් 4100ක් සමාජය තුළ සිටින බවට ද වාර්තා වේ.
කිසියම් පුද්ගලයකුට මෙම වයිරසය ආසාදිත වුවහොත් එහි රෝග ලක්ෂණ පෙන්වීමට වසර 8ක පමණ කාලයක් ගත වන බව වෛද්‍යවරු ප්‍රකාශ කරති.
කිසියම් පුද්ගලයකු අවදානම් සහිත ලිංගික හැසිරීමක නිරත වූයේ නම් එච්.අයි.වී. පරික්ෂාවකට යොමු විය යුතු අතර එම පරික්ෂාව නිවෙසේදී වුවත් කර ගැනීමේ හැකියාව පවතී. නිවෙසේදී මෙම පරික්ෂාව තමාටම කර ගැනීමට නම් Know4Sure ඇප් එක භාවිත කළ හැකිය. මෙම ඇප් එක මඟින් පරීක්ෂාව කරගත හැකි කට්ටලය ඇණවුම් කර නිවෙසටම ගෙන්වා ගත හැකිය.