මාතර, වැලිගම, වැලිහිඳ ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මිරිස්ස සංචාරක පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු මිය ගොස් විදේශීය කාන්තාවක් හා සංචාරක මඟපෙන්වන්නකු බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
පෙරේදා (28) රාත්‍රී 11.30ට පමණ මෙම අනතුර සිදුව තිබෙන අතර මෙසේ මිය ගියේ කොටවිල පොලිසියට අනුයුක්තව මිරිස්ස සංචාරක කලාපයේ රාජකාරි කළ වැලිගම, උඩුකාව පදිංචි එක්දරු පියකු වූ 33 හැවිරිදි ළහිරු මධුෂාන් (82429) නමැති පොලිස් කොස්තාපල්වරයාය.
පොලිස් කොස්තාපල්වරයා පෙරේදා (28) සිය රාජකාරි කටයුතු නිමා කොට අනතුරුව රාත්‍රියේ උඩුකාව ප්‍රදේශයේ නිවෙස වෙත යෑම සඳහා වැලිගම අකුරැස්ස ප්‍රධාන මාර්ගය ඔස්සේ යතුරුපැදියෙන් ගමන් කොට තිබේ.
එහිදී රාත්‍රී 11:30ට පමණ වැලිහිඳ හන්දිය ප්‍රදේශයේදී ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ ස්කූටි වර්ගයේ යතුරුපැදියක් හා එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි. එහිදී බරපතළ තුවාල ලද පොලිස් කොස්තාපල්වරයා 1990 ගිලන් රථයෙන් වැලිගම, වලාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබූ බව පොලිසිය කියයි.
මේ අතර ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ යතුරුපැදිය පැදවූ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු සහ එහි ගමන් ගත් එංගලන්ත ජාතික විදේශීය කාන්තාවක බරපතළ තුවාල ලබා වැලිගම, වලාන රජය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පැවැසීය.
අනතුර සිදුවූ මොහොතේම 1990 ගිලන් රථයට දැනුම් දී ඇතත් පැය භාගයකටත් වඩා ගිලන් රථය ප්‍රමාද වී පැමිණ තිබූ අතර එසේ ප්‍රමාද නොවූවා නම් පොලිස් නිලධාරියාගේ තත්ත්වය මීට වඩා යහපත් වන්නට ඉඩ තිබූ බව අනතුර සිදුවූ ස්ථානයේ සිටි අයගේ අදහස විය. මුහුණට මුහුණ ගැටී ඇති මෙම යතුරුපැදි දෙකේ අධික වේගය නිසා අනතුර සිදුවී ඇති බවට පොලිසිය සැකකරන අතර වැලිගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ මෙහෙයවයි. අනතුර සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති උපුල් කුමාර මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති කේ.පී.ජී. ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල්වරුන් වන (73052) ගාල්ලගේ, (61908) ප්‍රසන්න යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.